...

නවතම ලිපි

යෝජිත විවාහයේ දී ගැළපිය යුතුම පොරොන්දම: යෝනී පොරොන්දම

පොරොන්දම් ගැළපීම යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ සිතුම් පැතුම්, චර්යා ආදිය ගැළපෙන බව ජෝතිෂයානුකූලව පරික්ෂාකර බැලීමයි.

එම පරික්ෂාවේ දී සාමන්‍යයෙන් 50% ට වැඩි ගැළපීමක් පොරොන්දම් ගැළපීමක් ලෙස සළකනු ලබයි. (එනම් 8 පොරොන්දමෙන් 4 ක් හෝ නැතිනම් 10 පොරොන්දමෙන් 5 ක් හෝ 20 පොරොන්දමෙන් 10 ක් හෝ අෂ්ට කුටයෙන් ලකුණු 36 න් 18 ක් වශයෙනි )

පොරොන්දම් ගැළපීමේදී බොහෝවිට චන්ද්‍රයාගේ පිහිටීම අනුව, පරීක්ෂා කරන ජන්මපත්‍ර දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ශව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් ගළපනු ලබයි.

විශේෂයෙන් යෝජිත විවාහයකදී පොරොන්දම් ගැළපීම බොහෝ දෙනකු සිදුකරනු ලබන කාරණයකි. එය අපේ සංස්කෘතිය සමග අතීතයේ සිට බැඳී තිබෙන දෙයකි. මෙම පොරොන්දම් පරීක්ෂණයේදී යෝනි සහ ලිංග පොරොන්දම් ගැළපීම හොඳින්ම සිදුවිය යුතුය යන කාරණය පිළිබඳව බොහෝ දෙනකු වැඩි අවධානයක් යොමු කරයි.

අද යෝනී පොරොන්දම් ගැළපීම ගැන කෙටියෙන් දැනගනිමූ.

විශේෂයෙන් විවහපත් වන යුවළගේ කායික තෘප්තිය ගැන ඔවුන් උපන් වේලාව අනුව පරික්ශා කරනු ලබයි.

මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සත්වයෙකුගේ ලිංගේන්ද්‍රය හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක් වේ.

එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්ත්‍රී යෝනි ස්ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක් ලෙස පුරුෂයා අශ්ව, ස්ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්ත්‍රී යෝනි ස්ත්‍රියට පිහිටීම ඉතා ශුභ වේ.

එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ. උදාහරණයක් ලෙස දෙදෙනාටම වෙළඹ යෝනිය නම් ලැබී ඇත්තේ එය ශුභ වෙයි.

නමුත් එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්ත්‍රියටත්, ස්ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි. උදාහරණ ලෙස අශ්ව යෝනිය ස්ත්‍රියටත්, වෙළඹ යෝනිය පුරුෂයා ට හිමිවී තිබීම පෙන්වා දිය හැක.

එමෙන්ම ඔබ වෛර යෝනී ගැන ද දැන සිටීම වැදගත් වෙයි 🩵

මෙම යෝනි පොරොන්දම ගැළපීමේ දී නොගැළපෙන යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ කායික තෘප්තිය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක් පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්තරා මට්ටමක පසුබෑමකට ලක්වීමට හේතුවක් වනු ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක් පවතින සතුන් ලෙස අශ්ව – මී ගව ද, ඇත් – සිංහ ද, එළු – වඳුරු ද, සර්ප – මුගටි ද, සුනඛ – මුවද, බළල් – මූසික ද, ගව – ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

ඉහත පෙන්වා දෙන ලද මහා වෛර යෝනි වලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්ත්‍රී යෝනියක ස්ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.

දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.

දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.

දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.

එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්ත්‍රියටත්, ස්ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

එසේ ම දෙදෙනා ම මහා වෛර ස්ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.

යෝනි පොරොන්දම් ගැළපීම හරහා ලිංගික තෘප්තිය ගැන දෙදෙනාගේ ගැළපීම පරික්ෂා කරන අතර, ලිංගික කාර්යයේදී ඉස්මතු වන රුචිය පිළිබඳ ඉගියක් මෙම යෝනි පොරොන්දම තුළින් ඉදිරිපත් කර ඇති බව දීර්ඝකාලීන අත්දැකීම් තුළින් ප්‍රත්‍යක්ෂ වී ඇත.

රාශිවල ගැලවීම හා ග්‍රහ පිහිටීම්වල ස්වභාවය අනුව මෙම යෝනි පොරොන්දමේ දෝෂ ඉවත් වන බව පැරණි සෘෂිවරුන් පෙන්වා දී ඇත.

යෝනි පොරොන්දමේදී යෝනිය යනු ශරීරාංගයක් පමණක් නොවේ. ගෝත්‍රය, කණ්ඩායම, කුලකයන් යනාදී වශයෙන් විශාල පරාසයක දිව යන්නක් බව ඔබ දැනගත යුතුයි. එසේ නොමැතිව ලිංගික චර්යාව පමණක් වශයෙන් ලඝු කොට ගත්විට ඔබ තුළ හට ගන්නා වැරදි අවබෝධයක් ඇතිවීම වැළැක්විය නොහැකි වේ.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.