...

නවතම ලිපි

Review: දේශපාලන ස්ථරය ඉතා සියුම් ලෙස ගොඩ නැඟූ අශෝක හදගමගේ ගේ “රාණී” චිත්‍රපටය

රාජ්‍ය මර්දනය සහ 87-89 භීෂණය පදනම් කර ගනිමින් නිපදවූ සිනමා නිර්මාණ ඉතාමත් අඩුයි. මේ ඝාතන සංස්කෘතිය නැතිනම් එවකට රාජ්‍ය ම‍ර්දනය වටා ගොඩනගන ලද ‘රාණී’ චිත්‍රපටය, ලංකාවේ මෙවැනි ඉතිහාසගත සිදුවීම් රැගත් ඉතාමත් ස්වල්ප චිත්‍රපට වලින් නවතම සිනමා නිර්මාණය ලෙස සැලකිය හැක. මෙම චිත්‍රපටයෙන් ඉතිහාසය පිළිබඳව අවබෝධයක් නොමැති වත්මන් පරපුරට ඉතා වැදගත් සිනමා අත්දැකීමක් ලබාගත හැක.

රාණී සිනමා සිත්තම, සිනමා කරුණු පමණක් නොව, දේශපාලනික ස්ථරයන්ද සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇත. බොහෝ විට, ප්‍රබන්ධ චරිතාපදාන (Biopic) සිනමා නිර්මාණයක් සදහා තිර රචනාවක් ලිවීම ඉතා සංකීර්ණ වන අතර, විශේෂයෙන්ම එය දේශපාලනය හා බැදෙද්දී මනා ප්‍රවේශයක් අවශ්‍යවේ. Asoka Handagamaගේ ‘රාණී’ තුළ දේශපාලන ස්ථරය ඉතා සියුම් ලෙස ගොඩ නැඟූ අතර, Ken Loach හෝ Bong Joon වැනි දේශපාලන සිනමාකරුවන්ගේ ප්‍රවේශයට සාපේක්ෂව වෙනස් ආකාරයකට දේශපාලන තේමාවක් එහි ඇතුළත් කර තිබේ.

‘රාණී’ හි මනෝරාණි සරවනමුත්තු ප්‍රධාන චරිතය වුවද, එහි කේන්ද්‍රීය චරිතය රිචඩ් ද සොයිසාය. ඔහුගේ චරිතය සටහන් කළ ආකාරය, ඔහුගේ අතුරුදන් වීම, එය සිදුවූ ආකාරය සහ මනෝරාණි විඳගත් වේදනාව ඉතාමත් සංවේදී ලෙස චිත්‍රණය කර ඇත. ප්‍රේක්ෂකයා පෙර නිගමන සහිතව සිනමා ශාලාවට පිවිසෙන්නට සිදුවන ආකාරයට සමාජ මාධ්‍ය තුළ මේ චිත්‍රපටය පිළිබඳව විශේෂ දැක්මක් ඇතිව තිබුණි.

Asoka Handagamaගේ නිර්මාණ විවේචනයට ලක්වූයේ නව න්‍යායයන් සහ රැඩිකල් තීරණ ගැනීම නිසාවෙනි. එය ‘රාණී’ සඳහාද අදාලය. චිත්‍රපටය නරඹන විට, නිර්මාණයේ චිත්‍රාණය, සන්ධාන කිරීම සහ කැමරාකරණය ඉතා විශිෂ්ට ලෙස සංවිධානය කර ඇති බව දැකිය හැකි අතර, චන්න දේශප්‍රියගේ කැමරාකරණයද රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයද සිනමාත්මක ගුණාංග නංවා ඇත.

දශක තුනහමාරකටත් පසු, මෙවන් අත්දැකීම් නැවත ගෙන ඒම ප්‍රේක්ෂකයාට බලවත් බලපෑමක් ඇති කරයි. විශේෂයෙන්ම, මේ සිනමාපටය මගින් 87-89 භීෂණය, රජය විසින් සිදු කළ මර්දනය සහ මරාදැමීම් පිළිබඳව සාකච්ඡා කිරීමට යළිත් අවස්ථාවක් ලැබෙයි. එම නිසා, ‘රාණී’ පමණක් නොව, මෙවන් තවත් නිර්මාණ බිහිවිය යුතුය.

Seraphinite AcceleratorOptimized by Seraphinite Accelerator
Turns on site high speed to be attractive for people and search engines.