Danu’s creations යන නමින් 2015 වසරේදී අතින්ම නිමවූ සුබපැතුම් පත් නිෂ්පාදනය කරමින් ආරම්භ වූ කුඩා ව්‍යාපාරයක්, අද වන විට “Naari” යනුවෙන් කාන්තාවන්ගේ ආදරය දිනාගත් සන්නාමයක් බවට පත්ව තිබෙනවා.
මෙම ව්‍යාපාරයේ නිර්මාතෘවරිය, ධනූ ජයවර්දන අප සමඟ ඇගේ සාර්ථකත්වයේ කතාව සහ අනාගත බලාපොරොත්තු බෙදාගත්තා.
Q: Naari ව්‍යාපාරය පටන් ගන්න හිතුණු විදිහ සහ මෙතරම් විවිධ නිෂ්පාදන එකම තැනක අලෙවි කරන්න තීරණය කළේ ඇයි?
A: මුලින්ම “Danu’s creations” කියන නමින් 2015 පේජ් එක හදනකොට මම කරේ Handmade Greeting Cards විතරයි. 2018 වෙනකනුත් පේජ් එකෙන් කිසිම ඇණවුමක් ආවේ නෑ. මට පළවෙනි ඇණවුම එනවා 2018 දී.
එතනින් දිගටම ඇණවුම ලැබෙද්දි සන්නාම නාමය 2022දී මම වෙනස් කරනවා “Naari” කියන නමින්. ඒකෙන් මං බලාපොරොත්තු වුනේ ගැහැණු ලමයින් අතරට යන්න. එයාලට අවශ්‍ය කරාබු, මාල, අත් පලඳනා, පාවහන්, හිස් පලඳනා, මල් සැකසුම වගේ දේවල් නිශ්පාදනය කරන්න.
මේ හැමදේම Naari යටතේ නිශ්පාදනය කරන්න හිතුවේ මට අවශ්‍ය වුනේ මේ ව්‍යාපාරය පුළුල් කරන්නයි. ඒ පාරිභෝගියාගෙ පහසුවත් මට මේ දේ කරන්න පුලුවන් කියලා මං ගැන තිබුන විශ්වාසයත් නිසා.
Q: ඔයාලගෙ මේ එකිනෙකට වෙනස් නිර්මාණ සඳහා අදහස් එන්නේ කොහොමද?
A: නිර්මාණ සඳහා අදහස් එන්නේ පාරිභෝගික අවශ්‍යතාවය හා ඉල්ලුම මත. ඊට අමතරව රටින් පිට වෙලඳපල ඉල්ලුම මේ හැමදේම බලලා තමයි අයිතමයන් නිශ්පාදනය කරන්නෙ.
Q: අතින්ම නිපදවන නිසා මේ හැමදේම හදද්දි මුහුණ දෙන අභියෝග මොනවද?
A: හැමදේම අතින්ම නිශ්පාදනය කරද්දි කොයිතරම් ඇණවුම් ලැබුණත් තව කෙනෙක් යොදවලා ඒ දේ නිර්මාණය කරන්න මට පුලුවන් කමක් නෑ.
පාරිභෝගිකයා ඇණවුම ලබා දෙන්නෙ ඔවුන් දකින අයිතමයේ ගුණාත්මක බවට. එතනදී මං විශ්වාස කරන්නෙ මං කරන නිර්මාණයේ නිමාවයි.
එතනදි කාලය මහන්සිය කියන දේවල් නිසා අපහසුතාවයට පත්වෙන අවස්තා බොහෝමයි.
Q: ඔයාලගෙ නිෂ්පාදන වැඩිපුරම මිලදී ගන්නේ මොන වගේ පාරිභෝගිකයින්ද? ලැබෙන ප්‍රතිචාර මොනවද?
A: කාන්තා පිරිමි භේදයකින් තොරව ඇණවුම් ලැබෙනවා. මොකද ඒ ඕනේ කෙනෙක්ට මිලදී ගන්න පුලුවන් විදියේ අයිතමයන් “Naari” හරහා ලබා ගන්නට පුලුවන් නිසා.
ප්‍රතිචාර ගැන කීවොත් මේ වෙනකන් අයහපත් ප්‍රතිචාර මට නම් නොලැබුණ තරම්. මං මට පුලුවන් උපරිමයෙන් ඒ අය ගෙවන මුදලට සාධාරණයක් කරලා තියෙනවා.
ඇත්තටම ලැබෙන මුදලට වඩා ඒ අයගෙන් ලැබෙන ලස්සන ප්‍රතිචාර, ඒ වචන, ඒ blessings මට හරි වටිනවා.
Q: ඉදිරියේදී “Naari” ව්‍යාපාරය පුළුල් කරන්න හෝ අලුත් නිෂ්පාදන එකතු කරන්න සැලසුම් තියෙනවද?
A: දැනට අලුතින් “Naari” අපි අලුතින් අපේ ව්‍යාපාරයට එකතු කරලා තියෙන්නෙ මල් සැකසුම්. ඉදිරියේදි තවත් අයිතමයන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.