‘දෙවෙනි ඉනිම’ ටෙලිය වගේම ඒ නමත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වලින් තවමත් මැකිලා ගිහින් නැහැ. වයස් භේදයක් නැතුව ඉස්කෝලෙ යන කෙල්ලො කොල්ලො වගේම හැට හැත්තෑව පැනපු වැඩිහිටියොත් වැල නොකැඩී දිගින් දිගට විකාශය වුණු දෙවෙනි ඉනිම ඉවර වෙනකල්ම බැලුවා. නයනතාරා, රවීන් කනිෂ්ක වගේම කේෂාන් ශෂීන්ද්‍රත් ආලින්දයේ සිනමාවට සුපිරි තරු වුණෙත් දෙවෙනි ඉනිම නිසයි.
ඒ තුන්දෙනා අතරින් මේ ලියන්න හදන්නේ රවීන් කනිෂ්ක ගැනයි.
රවීන් කනිෂ්ක ගැන කියන සමහර කටකතා විවිධාකාරයි. සමහරු කියනවා රවීන් හරි සෝබනකාරයෙක්ලු. අලි ඔළුවලු. බොරු ආඩම්බර ෂෝ එකටලු හැසිරෙන්නේ.
ඒක ඇත්තද ඉතින්?
රවීන් නම් ඒ කතාවට කන පැළෙන්න හිනාවුණාලු. ඔහු කියන්නේ ‘ආඩම්බර වෙන්න මං කවුද? මට මොනවද එච්චරට තියෙන්නේ? අවුරුදු ගානකට කලින් මම රියැලිටි තරගයකට ගමෙන් ආපු නිකන්ම නිකන් කොල්ලෙක් විතරයි….’ කියලා.
ඇත්තටම රවීන් කියන්නා වගේ ‘රවීන් කනිෂ්ක කියන්නේ කවුද?’
ආඩම්බර වෙන්න මම කවුද කියලා රවීන් ඇහුවට, රවීන් කියන්නේ කලා ලොවේ බොහෝ ඉසව් හරහා නම තබමින් යන සුන්දර චරිතයක්. විටෙක ඔහු සින්දු කියනවා. විටෙක ඔහු රඟපානවා. තවත් විටෙක ප්‍රසන්ටර් කෙනෙක්. ආයෙම බලනකොට නිරූපණ ශිල්පියෙක්.
එතකොට අපි රවීන්ව හඳුන්වන්නේ කවුරු විදියටද කියන එක පොඩි අවුලක් නේද?
ඒ ප්‍රශ්නයටත් රවීන් උත්තර දෙන්නේ නිහතමානීව හිනාවෙන ගමන්. ඔහු කියන්නේ ‘ඒ ඒ අයට මාව දැනෙන්නේ කොහොමද, කොයි විදියටද, අන්න ඒ විදියට මාව හඳුන්වන්න. මට කතාකරන්න’ කියලයි. ‘තිරයෙන් පිටුපසදී මමත් සාමාන්‍ය මිනිහෙක්. එච්චරයි…’ රවීන් කියනවා.
කොහොමත් තමන්ට යන්න බැරි තැනකට තව කෙකෙන් ගියාම අපේ සමහර මිනිස්සු හරි ඉරිසියයි. ඒ හින්දා රවීන් ගැන මුහුණු පොතේ වැටෙන සමහර පෝස්ට්වලට කුහක කමෙන්ට්ස් දානවා. කවුරු කොහොම කිව්වත් ෆීල්ඩ් එකට බැස්සම ඕනෙ කෙනකුට තේරෙනවා. රවීන් කනිෂ්ක කියන්නේ බොරු ලොකුකම් නැති සරල ඩයල් එකක්. මග තොටක යනකොට කවුරු ළඟට ඇවිදින් කතා කළත් ඔහු නිහතමානීව ප්‍රසන්නව කතාබහ කරනවලු. අනෙක ඔහු එකෙන්ම දක්ෂ ගායකයෙක්, ප්‍රසන්ටර් කෙනෙක්, නිරූපණ ශිල්පියෙක් ඒ වගේම නළුවෙක්. ඒ හින්දා නොවැ සම්මානනීය ප්‍රවීණ නිර්මාණකරු සුනිල් ආරියරත්න ඔහුව ‘ක්ෂීර සාගරය කැලඹිණි’ ෆිල්ම් එකට ගත්තේ.
එක අතකට ටිකක් සෝබන පෙන්නුවත් මොකද? පොර එකෙන්ම වැඩ්ඩෙක් තමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු