Advertisement

2025 ඔබේ ලග්නයට කොහොමද..? මෙන්න ඒ ගැන ඇසෙන කතාව

ජනතාවට සියලු අතින් පීඩාකාරී වසරක් වෙමින් විවිධ තාඩන, පීඩන, ආර්ථික ප්‍රශ්න, ජීවන වියදම් ප්‍රශ්න ආදී මෙකී නොකී මහත් කරදරකාරී දුක් කඳුළු පිරුණු වසරක් ලෙසට ගෙවී ගියා..

එහෙත් සියලු අපේක්ෂා ඉටුවීම පිණිස ප්‍රාර්ථනාව පෙර දැරිව නව වසරට පිවිසෙන ඔබට 2025 වසර පිළිබඳ ජ්‍යොතිෂ්‍ය තුළින් සහනයක් වේ දැයි බලමු… මේ කියන්නේ ඔබේ ලග්නයට මේ වසර ගෙවී යන්නේ කොහොමද කියන කාරණයයි..

මේෂ ලග්නයට

මේෂ ලග්න හිමියෝ උද්යෝගිමත් ය. ඒ වගේම සියලුම බාධක මැඩගෙන ඉදිරියට යන ගතියක් පෙන්නුවත් 2025 මාර්තු මාසයෙන් පසු පොඩි පසුබෑමක් පෙන්වයි. නමුත් ඔබ බුද්ධියෙන් කටයුතු කළහොත් තමාගේ ධනය අපතේ නොයා කල්යල් බලා ඉදිරි අනාගතය වෙනුවෙන් යමක් කිරීමේ බලය ශක්තිය ඇතිවෙයි. ව්‍යාපාරවලට මෙන්ම යානවාහන ලාභ වලට හෝ විශේෂයෙන්ම ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට හොඳම කාලයකි. මුදල් නැතත් ණය වීමකින් හෝ ඉඩමක් මිලදී ගන්න.

රැකියාවේ යම් යම් වෙනස්වීම්, ස්ථාන මාරුවීම් මෙන්ම විදේශ ගත වීම් ද පෙන්නුම් කරයි. නමුත් මැයි මාසයෙන් පසුව යම් යම් බාධාවීම් පෙන්වයි. විශේෂයෙන් රැකියාව සම්බන්ධව කල්පනාකාරිවන්න. ගෙදර දොර කරදර බාධක යෙදෙන කාලයකි. ඒ වගේම ඔබේ මවට අසනිපාදී කරදර ගෙන දීමටත්, දරුවන් වෙනුවෙන් හෝ ලෙඩ රෝග සඳහා ඔබේ අතින් මුදල් වියදම් වීමක් පෙන්වයි. ඔබේ ද පපුව ආශ්‍රිත ලෙඩ රෝග ඇතිවෙයි. කෑම බීම ගැන ද කල්පනාකාරීවන්න. මේෂ ලග්නයෙන් උපන් අවුරුදු 2, 6, 8, 12 යන වයස්වල දරුවන් ගැන දෙමාපියන් කල්පනාකාරි වන්න. එමෙන්ම අධ්‍යාපන කටයුතුවල යෙදී ඉන්න දරුවන්ට වෙනදාට වඩා වැඩි අවදානයක් දීමටත්, හොඳින් බලා ගැනීමටත් කල්පනාකාරී වන්න. ඒ වගේම 16, 18, 19 යන වයස්වල ඉන්න දරුවන් ගැනත් විශේෂ සෙවිල්ලක් දක්වන්න. වැඩියෙන්ම අපලදායක කාලයක් ඇත්තේ ඔවුන්ටය. හැම දේ ගැනම වැඩි අවදානයක් දක්වන්න. ආලය අන්ද බැවින් මුලාවේ වැටෙන වාර අනන්තයි. නරක දේ සඳහා යොමුවෙන කාලය වැඩියි. අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීම අඩු කරයි. බාහිර දේ ඉක්මණින් වැලඳ ගන්නා කාලයකි. 51, 53, 59 යන වයස්වල අය ලෙඩ රෝග හදිසි අනතුරුවලින් පරිස්සම්වන්න.

වර්ෂය මුලදී තම ජයග්‍රහණයන්ට සුදුසුයි. පවුල් සංස්ථාවට ශුභයි. නමුත් මැයි මාසයෙන් පසුව දැනට පවතින සම්බන්ධතාවයන් බිඳ වැටීමටත් සැකය මුල් කරගෙන ප්‍රශ්න ඇතිවීමටත් පුළුවන. ආදර සම්බන්ධතාවලදී ප්‍රවේශම් වන්න. කලබලකාරී තීරණ නොගන්න.

යම් යම් කාලවලදී වාසනාවද පෑදේ. හැබැයි ඔබ මුල් මාස 6 තුළ ස්ථාවර විය යුතුමයි. මොකද දැන් ඔබට මුදල් ලැබෙන නමුත් ටික ටික ලැබීම් අඩුවෙන්නට පුළුවන. හේතුව අවුරුදු 7 1රැ2 ක ලග්න ඒරාෂ්ඨකයක් ලබන බැවිනි. ඒ ආවත් මේ කාලයම ඔබට අශුභ නැත. නාඩි සිද්ධාන්තවලට අනුව මේ මොන ඒරාෂ්ඨකය තිබුණත් ඔබව ඉහළට ඔසවා තබන කාලයකි.

වෘෂභ ලග්නයට

මේ කේන්දර සටහනෙන් පෙන්වා දෙන්නෙ වෘෂභ ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහනයි. වෘෂභ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා ලග්න ගතව සිටින අතර මෙම ගුරු මැයි මාසයෙන් මිථුන රාශිගත වෙයි. එමෙන්ම දැනට 10 වැන්නෙ සිටින ශනි 2025.03.29න් 11 වැන්න වූ මීන රාශිගත වෙයි. ඒ වගේම මැයි මාසයෙන් රාහු කුම්භ රාශියටත් කේතු සිංහ රාශියටත් පැමිණේ.

මීට අමතරව මුලින්ම අවුරුදු 3, 6, 8, 12 යන වයස්වල ඉන්න දරුවන් ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. තරමක් දුරට මුරණ්ඩු ගති පෙන්වන්නට පටන් ගනියි. එම නිසාම දෙමාපියන් දරුවන් තේරුම් ගෙන ක්‍රියාකිරීමට වග බලා ගත යුතු කාලයකි. නිසි අධ්‍යාපනයකට යොමු කරන්න. නවීන තාක්ෂණික උපකරණවලින් දරුවන් ඈත් කරවන්න. දරුවන්ගේ මනස විකෘති වන කාලයකි. ඒ වගේම අවුරුදු 14 කුඩා ගැහැනු දරුවන් විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතාවලින් ආරක්ෂා කර ගන්න. ඒ වගේ ම වැඩිහිටි පිරිමින් ළඟ දරුවන් රඳවන දෙමාපියන් ද දරුවන් ගැන සැලකිලිමත් වන්න. අවුරුදු 21, 33, 55 යන වයස්වල සිටින අයට විදේශගත වීම් රැකියාවේ යම් යම් සුබවාදී පැති ඇතිවීමට පුළුවන. බොහෝ විට පඩි වැඩිවීමක් පෙන්නුම් කරයි. වෙනදට වඩා මුදල් ගලා එන මාර්ග විවෘත වෙයි. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත්, ඉඩම්, නිවාස මිලදී ගැනීමටත් අවස්ථාව උදාවෙයි. ඒ වගේම සියලුම දේ හොඳ විදිහට පිළිවෙලට සිදුවන කාලයකි. විදේශගත වීමට සිටින අයට මේ කාලය ඉතාම ශුභ දායකය. නව බලාපොරොත්තු, මල්ඵල ගැන්වේ. විවාහ කටයුතු සාර්ථක වෙයි. ආදර සම්බන්ධකම් වැඩි දියුණු වෙයි. යාන වාහන ගැනීමට වැඩි උනන්දුවක් දක්වයි. පිළිවෙළට ඉන්න උත්සාහ ගනියි. මුල් මාස කීපයේ යම් යම් සුළු සුළු බාධාවීම් ඇති වුවත් පසු කාලයේ සියලුම දේ සමතයකට පත්වෙයි. දෙමාපිය උරුමයෙන් හෝ ආච්චිලා සීයලාගේ දේපල හෝ මුදල් ලැබෙන්නට පුළුවනි. ලොතරැයි වාසනා ද ඔබට හිමිවීමට පුළුවනි. එමෙන්ම මේ කාලයේ සුළු සුළු අසනීපාදී කරදර වලට ද මුහුණ දෙන්නට සිදුවේවි. විශේෂයෙන් වයස අවුරුදු 48, 49, 52, 54, 59 යන වයස්වල සිටින අය කල්පනාකාරී වන්න. විශේෂයෙන් තමන්ගේ අසනීප සඳහා කලට වේලාවට කටයුතු පිළියම් කරගන්න. වෘෂභ ලග්නයට විශේෂයෙන්ම කිවයුතු ප්‍රධානම කාරණය වන්නෙ 2025.05 න් පසුව මෙම ලග්න හිමියන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට අවස්ථාව උදා වන බවයි. මෙම කාලය තුළදී විවාහය, අධ්‍යාපනය, විදේශ ගතවීමට, පොරොන්දු ගිවිසුම් අත්සන් කිරීමට, කීර්තිය ප්‍රශංසා ලැබීමට, රටේ ප්‍රසිද්ධ චරිත බවට පත්වීමට මෙම කාලය හේතු වේ.

මිථුන ලග්නයට
මෙම ලග්නයට අනුව මිථුන ලග්න හිමියන්ට ශුභදායක බවක් පෙන්වයි. ඒ කෙසේ වෙතත් නාඩි සිද්ධාන්තවලට අනුව නම් ශුභදායකම වන්නෙ 2025 මැයි මාසයෙන් පසුවයි. දැනට 12 වැන්න වූ වෘෂභයේ සිටින ගුරු මැයි වලින් පසුව ඔබේ ලග්න කේන්ද්‍ර ස්ථානයට එන අතර රාහු සහ කේතුගේ මාරුවීමත් මැයි මාසයේ සිදුවෙයි. බොහෝ දුරට ලොකු පොඩි හැමදෙනාම ධාර්මික වන තරමට ශුභයි. තමන් අදහන ආගමික කටයුතුවල නිතර නිතර යොමුවෙන්න. 2025 මාර්තු 29 දැනට පුණ්‍යස්ථානයේ සිටින ශනි 10 වැන්න වූ මීන රාශි ගත වෙයි. රැකියාවේ වෙහෙස බවක් වෙනදට වඩා මහන්සි වන බවක් ද ඇති කරයි. මුදල් හානි ඇති වීමට පුළුවනි. තමා මෙතෙක් කරන වැඩ කටයුතු අධික වෙයි. එම නිසා පුළුවන් තරම් කල්පනාකාරී වන්න. අවුරුදු 3, 8, 12 යන වයස්වල පසුවන දරුවන් ගැන විමසිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු කෙරේ පවතින බාධක දුරු කර ගන්නට දරුවන්ට සහය වන්න. 13, 17, 19, 23 යන වයස්වල පසුවන දරුවන් ගැන විමසිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු කෙරේ පවතින බාධක දුරු කර ගන්නට දරුවන්ට සහය වන්න. ඔබට බාධා ගෙන දෙයි. නමුත් ඔබ ධෛර්යමත් වන්න. අවුරුදු 21, 22 යන වයස්වල අයට වැඩි වශයෙන් මිල මුදල් ලැබෙන කාලයකි. මෙය මැයි මාසය වන තෙක් පමණි. මැයි මාසයෙන් පසුව ඔබේ ජීවිතේ යම් යම් තීරණ ගන්නට සිදුවෙයි. මෙය බොහෝ විට රැකියාව සම්බන්ධයෙන් විය හැක. බොහෝ දුරට ස්ථාන මාරුවීමක් පෙන්වයි. හැබැයි මේ කාලයේ රැවටීමකට ලක්වෙයි. එම නිසා කල්පනාකාරී වන්න. විවාහ වූ අය ගෘහ ජීවිතය පිළිබඳව කල්පනාකාරී වන්න. විවාහ වෙන්නට සිටින අයත් විවාහ ජීවිතය රැක ගැනීමට උත්සාහ ගන්න. සැකය, අවිශ්වාසය තම පවුල් ජීවිත තුළට ගෙන ඒමෙන් වළකින්න. කෙසේ හෝ මිථුන ලග්න හිමි ඔබ හිතේ එකක් තියාගෙන තව එකක් කියන නිසා පුළුවන් තරම් අවංකවන්න උත්සාහ කරන්න. රාජ්‍ය අංශයේ මෙන්ම රටේ ප්‍රධාන තැන්වලට යාමටත් සමාජය හා මුහුවීමටත් අවස්ථාව උදාවෙයි. ජීවිතය ජය ගත හැක. විදේශ ගමන් බිමන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් විය හැක. එම නිසා ජීවිතය ජය ගන්නට පුළුවන්. ලෙඩ රෝග ලෙස මෙම කාලයේ පපුවේ, අර්ශස් රෝගාබාධ, යටිබඩේ වේදනාවන් ගෙන දෙයි. නමුත් වාසනාවන්ත වසරක් වෙනවාමයි.

කටක ලග්නයට
කටක ලග්නය හිමියන්ට දැනට අෂ්ඨම ඒරාෂ්ඨක තත්ත්වයක් පවතින අතර මෙම අෂ්ඨම තත්ත්වය 2025 මාර්තු 29 යෙන් නිමාවට පත්වෙයි. එමෙන්ම 2025 මැයි මස ගුරු මාරුවත්, රාහු කේතුගේ මාරුවත් සිදුවේ. මැයි මසෙන් පසු කටක ලග්න හිමියන්ට ශුභ කාලයක් උදාවෙයි. නාඩි සිද්ධාන්තවලට අනුව ස්ථාන වෙනස්වීමක් පෙන්නුම් කරයි. එමෙන්ම සමහර, එනම් අවුරුදු 24, 35, 36 යන වයස්වල ඉන්න අයට විදේශ ගත වීමටත් අවස්ථාව උදාවෙයි. රැකියාවල්වලද වෙනස්වීම් සිදුවෙයි.

ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන් එනම් අවුරුදු 8, 10, 11, 19, 21 යන වයස්වල ඉන්න දරුවන් ගැන දෙමාපියන් වැඩි අවදානයක් යොමු කරන්න. ගැහැනු, පිරිමි, දෙපක්ෂයම ගැන. ඒ වගේම තමන්ගේ වයසට ගැළපෙන දේ පමණක් කරන්නට උපදෙස් දෙන්න. තවද අධ්‍යාපන කටයුතුවලට දුර්වල නම් තමන් අදහන ආගමික පැත්තකින් සෙත් ශාන්තියක් කරගන්න. තවද අවුරුදු 38 වයස්වල ඉන්න අයට දෙවිදිහකින් ලාභ ප්‍රයෝජන අත්කර ගත හැකි කාලයකි. මේ කාලයේ රැකියාවට අමතරව අලුත් ව්‍යාපාරයකට අත ගසන්නෙ නම් ඵලදායකයි. වෘත්තීය මට්ටමද ශුභයි. ආර්ථික වශයෙන් හොඳ පැත්තකට හැරෙන ලකුණු පෙන්වයි. මිල මුදල් ලැබුණත් වියදම් පක්ෂය ඉහළ යයි. ලෙඩ රෝග සම්බන්ධයෙන් මානසික සුවය හොඳින් තිබිය යුතු අතර යම් යම් ලෙඩ රෝගවලට මුල් වුවත් මාරක අපලයක් නැති බවත් කිව යුතුයි. මැයි මාසයෙන් පසු ඉඩම්, වාහන, මිලදී ගැනීමට ශුභ කාලයකි. ඉඩමක් ඇත්නම් නවීන අලංකාර නිවසක් ගොඩනැගීමට උත්සාහ ගන්න. මොකද සියලු දුක් දොම්නස්වලින් නිදහස් වීමට හැකියාවක් ලබන වසරේ ඇත.

දරුවන් ඉන්න දෙමාපියනි, පසුගිය කාලයේ දරුවන්ගේ ලකුණු මට්ටම අඩු වුවත් 2025 වර්ෂය සියලුම දේ නැවත ගොඩනඟා ගත හැක. විශේෂයෙන් කටක ලග්න ඔබට කියන්නෙ මිල මුදල් කිසි විටකත් අන් අයට දීමටත් අන් අයගෙන් ගැනීමටත්, කිසිම කෙනෙක් වෙනුවෙන් පොරොන්දු ගිවිසුම් අත්සන් කිරීමටත් නොයන්න. විශේෂයෙන් විවාහ වූ අයට තම පවුල් සංස්ථාව ආරක්ෂා කරගැනීමටත් උත්සාහ ගන්න. වියදම් වැඩි වුවත් පිං අතේ වැඩ කටයුතුවලටද දායකත්වය දක්වන්න. පුළුවන් තරම් පිං රැස් කරන්න. 2025 මැයි මාසෙන් පසුව ඔබට ජීවිතේ වෙනස් කර ගැනීමට අවස්ථාව උදාවෙනවා. කට කියවනවට වඩා කියන දේ ඉෂ්ට කරන්නට උත්සාහයක් ගන්න.

සිංහ ලග්නයට
2025 වර්ෂය සිංහ ලග්න හිමියන්ට ශුභදායක කාලයකි. නමුත් යම් යම් අශුභ කාලයක් මෙම ලග්නයට බලපානවා. එනම් 2025.03.29 වැනි දිනෙන් මෙම ලග්න හිමියන්ට අෂ්ඨම අපලයක් (ඒරාෂ්ඨක) ලබනවා ඇත. මේ කාලය තරමක අපලසහගතයි.

එබැවින් කල්පනාකාරී විය යුතුයි. එමෙන්ම අවුරුදු 8, 11, 14 යන වයස්වල සිටින දරුවන් ගැන විමසිලිමත් වන්න. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සැලකිලිමත් වන්න. කම්මැලි වෙයි. නිදිමත වැඩිවෙයි. තම එදිනෙදා කටයුතු කල්දමයි. මේ සියලුම දේ අධ්‍යාපනයට බාධා ගෙන දෙයි. අවුරුදු 18, 21 පසුවන දරුවන් මෙම කාලය තුළ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමෙන් වළකින්න. විශේෂයෙන් ගැහැනු දරුවන් සිටින දෙමාපියන් දරුවන් පරිස්සමින් බලාගන්න. තරමක මුරණ්ඩු ගති පෙන්නුවත් ඉවසීමෙන් ප්‍රශ්න විසඳා ගැනීමට උපදෙස් දෙන්න. අවුරුදු 43, 49, 54 යන වයස්වල සිටින අය තමාට යම් යම් අසනීප වෙනුවෙන් වෛiවරු මුණ ගැසීමටත් ප්‍රතිකාර ගැනීමටත් සිදුවෙයි. හදිසි වැටීම් තුවාල වීම් විශේෂයෙන් අත්පා පරිස්සම් කර ගැනීමට උත්සාහයක් ගන්න. මැයි මාසය නිම වන තෙක් පරිස්සම් වීමටත් වගබලා ගන්න. පොදුවේ රැකියා කටයුතුවලදී කලකිරෙන බවක්, ප්‍රිය නොවන තැනක් බවට පත් වෙයි. අලුත් රැකියා මාර්ග සොයා නොයන්න. තියන දේ රැක ගැනීමට උත්සාහ ගන්න.

අලුතින් විවාහ වීමට සිටින පුද්ගලයන් මාර්තු මාසයට කලින් විවාහ වන්න. නැතිනම් ඉතාම ශුභ වෙලාවක් බලා විවාහ වන්න. හැබැයි එකම ලග්නය හිමියන් (එනම් සිංහ ලග්න) දෙදෙනෙක් විවාහ වෙන්නට උත්සාහ ගන්නෙ නම් කල්පනාකාරී වන්න. එමෙන්ම මේ සියලුම දේ අඩු වැඩි කරගැනීමට හැකියාව ඇත්තේ ඔබටයි. ඔබේ ප්‍රතිපත්ති මතයි ආගමික කටයුතුවල නිරත වන්න. බොහෝ ගැටලුවලට විසඳුම් ලැබේවි. මුදල් පරිහරණයේදී ද කල්පනාකාරී වන්න. අනවශ්‍ය දේ සඳහා මුදල් වියදම් නොකරන්න. පුළුවන් තරම් උත්සාහ ගන්න ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට. නැතිනම් ඔබේ නිවස අලුත්වැඩියා කිරීමටත් උත්සාහයක යෙදෙන්න.

කන්‍යා ලග්නයට
කන්‍යා ලග්න හිමියන්ට ඉතාම ශුභදායක වර්ෂයකි. ලග්නයේ සිටින කේතු මැයි මස 12 වැනි රාශියවූ සිංහ රාශියට ගමන් කරන අතර රාහුද 6 වැන්න වූ කුම්භ රාශිගත වෙයි. මාර්තු 29 ය 6 වැන්නේ සිටින ශනි 7 වැන්න වූ මීන රාශිගත වෙයි. 9 වැන්නේ සිටින ගුරු ග්‍රහයා ද මැයි මස 10 වැන්න වූ මිථුන රාශි ගත වෙයි. මෙසේ පටන් ගන්නා මෙම වසර අවුරුදු 5, 7, 9, 10 යන වයස්වල සිටින දරුවන්ට ඉතාම ශුභ කාලයකි. අධ්‍යාපනික කටයුතුවලට බාධා තිබුණත් ඔහුගේ ජීවිතය ශක්තිමත් කර ගැනීමට කියා දිය හැකි වයසකි. එම නිසා දරුවන්ගේ අධ්‍යාපනය නිසි ලෙස හොඳින් ලබාදෙන්න. අවුරුදු 14, 15 සිටින දරුවොත් අනවශ්‍ය දේ ඉවත දා අධ්‍යාපනයට පමණක් හිත යොමු කරන්න. අවුරුදු 21, 22 යන වයස්වල නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට ඉතාම ශුභදායකයි. විදේශගත වීමටද පුළුවනි.

විවාහයට ද ශුභ කාලයකි. අවුරුදු 50, 57, 58 යන වයස්වල ඉන්න අයට විශේෂයෙන් කියන්නෙ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වන ලෙසයි. තරමක ව්‍යාකූලතාවයක් ආවත් ඒ ගැන වැඩිය සිතන්නට නොයන්න. එකම දේ දිගින් දිගටම සිතීමට නොයන්න. කන්‍යා ලග්න හිමියන්ට වාහන ලාභ ඇත, උත්සාහයක් ගන්න තමාට හිමි දේ ලබා ගැනීමට. එමෙන්ම ලස්සනට අඳින්න, පලඳින්න දැඩි කැමැත්තක් දක්වන කාලයකි. තම සිහින ඉටු කර ගැනීමට උත්සාහ කරන කාලයකි. ගිය වර්ෂයෙන් පාඩම් ඉගෙන ගෙන අලුත් අවුරුද්දේ වැරදි හදාගන්න. හේතුව හිත හොඳ හින්දම හැම විටම ඔබට පාඩු ද සිත් රිඳවීම් ද ඇති වුණ කාලයකි. එම නිසා මේ ඔබේ අවුරුද්දයි. දියුණුව, අනාගත බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම ඔබ සතුයි.

තුලා ලග්නය
තුලා ලග්නයේ දැනට 5 වැන්න වූ කුම්භ රාශියේ සිටින ශනි මාර්තු 29 මීන රාශිය වූ 6 වැන්නට ගමන් කරන අතර දැනට මීන රාශියේ සිටින රාහු මැයි මස කුම්භ රාශියටත් 12 වැන්නෙ සිටින කේතු 11 වැන්න වූ සිංහ රාශියටත් ගමන් කරයි. එමෙන්ම 8 වැන්නෙ ඔබට තරමක කරදර ගෙනදුන් ගුරු මැයි මාසයේ 9 වැන්න වූ මිථුන රාශියට ගමන් කරයි.

මේ නිසා මැයි මාසයෙන් පසු ඔබේ ජීවිතේ බොහෝ ප්‍රශ්න හිමින් හිමින් විසඳෙන්නට පටන් ගනියි. අවුරුදු 8, 11 යන වයස් දරුවන් ද මැයි මාසය වන තෙක් පරිස්සම් වීමටත් මැයි මාසයෙන් පසු ඉතාම ශුභ බවත් දැනගන්න. අවුරුදු 26 අයට මංගල සීනු හැඩවෙන කාලයකි. ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟෙන කාලයකි. සියලුම දේ ශුභ ආකාරයට සිදුවේවි. විදේශගත වීම් ද පෙන්නුම් කරයි. මෙය සමහර විට උසස් අධ්‍යාපනය වෙනුවෙන් ද විය හැක. විශේෂයෙන්ම අවුරුදු 10යේ සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන විමසිලිමත් විය යුතුයි. අවුරුදු 34 වයසේ අයට නව රැකියා මාර්ග පෑදේ. ඒ වගේම ජීවිතේ වෙනස් කරවමින් නව ජීවිතය සොයා යන ගමන සාර්ථක වෙයි. තුලා ලග්න හිමියන් මේ කාලයේ විශේෂයෙන් දරුවන් බලාපොරොත්තුව සිටින අය තම කුසේ ඉන්න දරුවා හොඳින් ආරක්ෂා කරගන්න, 2025 මැයි මාසෙන් පසු. ඒ වගේම සතුරු කරදරවලින් ද, වැඩිහිටියෝ 67, 70 යන වයස්වල පසුවන්නෝ ද තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කල්පනා කාරිවන්න. හැබැයි මැයි මස ගුරුගේ මාරුවක් සිදුවන නිසා පුළුවන් තරම් පිං දහම් කරන්න. බොහෝ දුරට පෙර පිං ඵලදෙයි. නමුත් සමහර තුලා ලග්න හිමියන්ට පෙර පව් ද ඵලදෙයි. ඒ නිසයි පිං කරන්න. සතුන් මරණ අය ඉන් වැළකෙන්න. අවුරුදු 22, 25, 28 යන වයස්වල අයට විදේශ ගතවීමට බලාපොරොත්තු වන්නේ නම් එම සිහිනය සැබෑ වෙයි. ඒ වගේම ආදරය, විවාහය, ස්ථිර වෙයි. ගිවිසුම් පොරොන්දු ඉටුවෙයි. හැම දේම ඔබේ පැත්තට හරවා ගෙන ක්‍රියා කිරීමට අවස්ථාව උදාවෙයි. අධ්‍යාපනය දරණ දරුවන් ද අනවශ්‍ය දේ අත හැරියොත් සියලුම බලාපොරොත්තු ඉටු කරගත හැක.

වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්නයට 2025 වර්ෂය නාඩි සිද්ධාන්ත වලින් කෙසේ දැයි විමසමු. මෙම කේන්දර සටහනේ පෙන්වන්නෙ තත්කාල කේන්දර සටහනයි. නමුත් 4 වැන්නෙ සිටින ශනි මාර්තු මාසයේ 29 වැනි දින මීන රාශියට ගමන් කරයි. දැනට 05 වැන්නෙ සිටින රාහු කුම්භ රාශි ගත වෙයි. 7 වැන්නෙ සිටින ගුරු ග්‍රහයා මිථුන රාශියට ගමන් කරයි. දැනට 11 වැන්නෙ සිටින කේතු ග්‍රහයා සිංහ රාශි ගත වෙයි. මෙම ලග්න හිමියෝ විශේෂයෙන්ම මතක තබා ගත යුත්තේ මාර්තුවලින් පසු සියලුම දේ සිතට ගත යුතු කාලයක් වන අතර තමාගේ බලාපොරොත්තු බිඳ වැටේ. අනුන් සමග ඇති කරගන්නා පොරොන්දු ගිවිසුම් වෙනස් වෙයි. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධය පවත්වන අය පරිස්සම් විය යුතු කාලයකි. අවුරුදු 7, 17 යන වයස්වල ඉන්න දූ දරුවන්ට තරමක් දුරට අධ්‍යාපනික කටයුතුවලට බාධාවක් ගෙන ආවත්, සියලුම දේ ශුභ විදිහට කරගැනීමට ශක්තිය ඔබට හිමි වෙයි. අවුරුදු 26, 38, 40 යන වයස්වල සිටින අයට විදේශ ගමන් බිමන් පෙන්වයි. ඔබේ උනන්දුව උත්සාහය මත සියලුම දේ හොඳ විදිහට සිද්ධ වෙයි. හැබැයි විදේශගතවීම සඳහා මුදල් දෙන අය ගැන විමසිලිමත් වන්න. මන්ද ඔවුන් සමග ඇති කර ගන්නා ගිවිසුම් පොරොන්දු ගැන හොඳින් අවබෝධ කරගත යුතුයි.

පොදුවේ ස්ථාන වෙනස්වීමක් පෙන්නුම් කරන අතර, ළඟම ඥාතීන් සමග අමනාපයක් ද ඇති කරගැනීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. මේ කාලයේ අර්ශස් ආබාධ, ගුද මාර්ගයේ අවහිරතාවයන් නිසා හට ගන්නා රෝගාබාධ ඇති විය හැක. ඒ වගේම ශක්තිය අඩු ගතියක් පෙන්වයි. මේ කාලයේ විශේෂයෙන් කට ද පරිස්සම් කරගත යුතුයි.

ධනු ලග්නය
ධනු ලග්න හිමියන්ගේ තත්කාල කේන්දර සටහනට අනුව දැනට 3 වැන්නෙ සිටින ශනි ග්‍රහයා 4 වැන්න වූ මීන රාශියට පැමිණේ. 4 වැන්නෙ සිටින රාහු 3 වැන්න වූ කුම්භ රාශියටත් දැනට 6 වැන්නෙ සිටින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් ඒ කියන්නෙ 7 වැන්නටත්, 10 වැන්නෙ සිටින කේතු 9 වැන්න වූ සිංහයටත් ගමන් කරයි. ශනි ග්‍රහයා මාර්තු 19යත් ගුරු, රාහු, කේතු මැයි මාසයෙත් ගෝචර වෙයි. ශරීර සනීපය ඇතිවේ. සිත් සතුටට කරුණු යෙදේ. මිල මුදල් අතින් ලාභ ලැබෙන කාලයකි. අමතර ආදායම් මාර්ගවලින් මුදල් සොයන අයට ද මේ කාලය ශුභය. අලුත් වැඩපිළිවෙළක් ඇති ගෙදර උත්සව අවස්ථාවලට ඉඩ කඩ සැලසේ. ඔබ මොන තත්ත්වයෙන් සිටියත්, නින්දාවක් ඇති වීමටත් නෑනලා මස්සිනාලා සමග අමනාපයක් ද ඇති විය හැක.මේ කාලයේ අලුත් ඥාති සම්බන්ධතාවයක්ද ඇතිවේ. මොන දේ ලැබුණත් හිතේ සැනසීම යම් කිසි දුරකට අඩුවීමට ද පුළුවනි. සියලුම දේ සැකයත් සමග විසඳීමට ද පුළුවනි. මව් පාර්ශ්වයේ ඥාතියෙකුට ද අපලදායකය. රැකියාව පිළිබඳව ද කල්පනාකාරී වන්න. කලක සිට බලාපොරොත්තු වූ දෙයක් ඉෂ්ට වෙයි. ධනු ලග්න හිමි 20, 21, 26, 32, 33 යන වයස්වල ඉන්න අයගේ විවාහය සිදුවෙයි. මංගල යෝජනා ස්ථිරවෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ටත් ශුභ දායකයි. ඒ වගේම විදේශ ගතවීමට බලාපොරොත්තු වන අයටත් ශුභදායකයි.

මකර ලග්නය
මකර ලග්න හිමියෝ අවුරුදු 7 1/2ක ලග්න ඒරාෂ්ඨක අපලය නිමා කරයි. දැනට 2 වැන්න වූ කුම්භයේ සිටින ශනි මාර්තු 29 ය 3 වැන්න වූ මීන රාශියට ගෝචර වෙයි. එමෙන්ම 3 වැන්නෙ සිටින රාහු මැයි මාසයේ 2 වැන්න වූ කුම්භ රාශියටත් 5 වැන්නෙ සිටින ගුරු මිථුන රාශියටත්, කේතු 8 වැන්න වූ සිංහ රාශියටත් මැයි මාසයේ ගෝචර ගමනින් රාශිගත වෙයි. ඔබේ අවුරුදු 7 1/2ක් පැවති ලග්න ඒරාෂ්ඨක අපලය අවසන් වූ නිසා අමුතු ප්‍රබෝධයක් ඇතිවෙයි. පසුගිය කාලයේ මග හැරුණු සියලුම කටයුතුවල නැවත නිරත වෙන්නට වාසනාව උදාවෙයි. සිත් ප්‍රීතියට කරුණු කාරණා ඇතිවෙයි. විවාහ වීමට සිටින අයට ද මේ කාලය ශුභදායකයි. උසස් අයගෙන් ලැබීමත් ප්‍රයෝජනත් ලැබේ. රැකියාවේ සාර්ථක බවක් ගෙන දෙන අතර නොයෙක් ක්‍රමවලින් සතුටට කරුණු ඇතිවෙයි. දියුණුවට මග පෑදේ. නින්දා අපවාදවලින් නිදහස් වෙයි. අලුත් බලාපොරොත්තු දරුවන් තුළ ඇතිවේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට කරුණු කාරණා ඇතිවේ. විදේශගත වීම් මැයි මාසයෙන් පසුව ඇතිවෙයි. ඉඩ කඩම් මිලදී ගැනීමට කරුණු කාරණා ඇතිවෙයි. කලකින් හමු නොවූ මිත්‍රයෙක් ඔබව සොයාගෙන එයි. ඒ වගේම නතර වී තිබුණු ප්‍රේම සම්බන්ධතාවයන් අලුත්වෙයි. කෙසේ හෝ පවුලේ දියුණුව ඇතිවෙයි.

කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන්ට අවුරුදු 7 1/2ක ලග්න ඒරාෂ්ඨක තත්ත්වයක් පවතියි. මොවුන් අපල කාලය අවුරුදු 5ක් අවසන් කර ඇත. දැනට ලග්නයේ සිටින ශනි 2025 මාර්තු 29ය 2 වැන්න වූ මීන රාශියට පැමිණේ. ඒ වගේම රාහු කුම්භ රාශියටත් ගුරු මිථුන රාශියටත් කේතු සිංහ රාශියටත් මැයි මාසයේ ගමන් කරයි.

මෙසේ ආරම්භ වන වර්ෂය කුම්භ ලග්න හිමියන්ට පෙරට වඩා සතුටු දායක තත්ත්වයක් උදා කරයි. පසුගිය වර්ෂවල පැවති සියලුම බාධක වලින් යම්කිසි නිදහසක්, සතුටක් ලැබිය හැකි කාලයකි. අවුරුදු 5, 12, 16 යන වයස්වල සිටින දරුවන් ගැන විශේෂ අවදානයක් දෙමාපියන්ට යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද කැප කිරීම් කරන්නට සිදුවෙනවා. අනිත් දරුවන්ට ඒ අවදානම නැතුවාම නෙවේ. නමුත් අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විදේශ ගමන් බිමන් වලට ද ඉතාම ශුභදායකයි. දෙමාපියන්ගේ කැපවීමෙන් දරුවා ඉහළට ඔසවා තබන්නට හැකියාව ලැබේ. ඒ වගේම 56, 58, 62 යන වයස්වල ඉන්න අය තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී වන්න. නමුත් මාරක අපල නැත. අලුතින් විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවෙයි. දින නියම වෙයි. තදබල අපල නැති නිසා දරුවන් ලබාගැනීමට උනන්දු වන්න.

මීන ලග්නය
මීන ලග්න හිමියන්ට ලග්න ඒරාෂ්ඨකය තවදුරටත් වසර 5ක් ඉදිරියට පවතියි. ඒ වගේම දැනට ලග්නයේ සිටින රාහු කුම්භ රාශියටත් 3 වැන්නෙ සිටින ගුරු ග්‍රහයා 4 වැන්න වූ මිථුන රාශියටත් 7 වැන්නේ සිටින කේතු සිංහ රාශියටත් ගෝචර වෙයි. තරමක කලබලකාරී බවක් ගෙන දේ. මීන ලග්න හිමියනි, අමාරුම බාධක සහිත අවුරුදු 2 1/2 ඔබ පසුකර ඇත. ශනි ලග්නයට පැමිණීම තරමක කේන්ති යන ගතියක් පෙන්නුවත් ඔබ පරිස්සම් විය යුත්තේ දැනට ලග්නයේ සිටින රාහු 12 වැන්න යෑමයි. අවුරුදු 10, 11, 14 යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන දෙමාපියන් බලාගත යුතුයි. සම්බන්ධතාවලට නවීන තාක්ෂණයට ලොල් වීම වැළැක්විය යුතු කාලයකි. මූලික දේ අධ්‍යාපනය පමණයි. මේ දරුවන් හදිසි අනතුරුවලින්ද වැටීම් තුවාලවීම් වලින්ද මෙම දරුවන් රැක බලාගත යුතුය. අවුරුදු 21, 22 වයස්වල දරුවොත් 26, 33, 34 යන වැඩිහිටියොත් තමන් වාහනයකින් හෝ පයින් ගියත් හදිසි අනතුරුවලින් පරිස්සම්වන්න. අපරීක්ෂාකාරී රිය පැදවීම්වලින් විශේෂයෙන් ඊට අමතරව නරක පුරුදුවලට ඇබ්බැහි නොවන්න. ඒ වගේම රැකියාව පරිස්සම් කර ගන්න ආවේගශීලී නොවන්න. ඉවසීම නැති හැම තැනදීම ඔබට කරදරයක් මිස හොඳක් නම් සිදු නොවේ. එමනිසා හැම මොහොතකම ඔබ ගැන සිතන්න. අවුරුදු 5, 7, 9 යන දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට ඉතාම ශුභ කාලයකි. තරග විභාගවලින් ජයත් ක්‍රීඩාවෙන් ජයත් මෙම දරුවන්ට ලබාගත හැක. හැබැයි දරුවනි සමහරවිට ඔබේ උපන් නැකත අනුව මෙය වෙනස් වීමටත් පුළුවනි. නමුත් පොදුවේ ඔබට ශුභයි. 16, 20 යන වයස්වල ඉන්න සා/පෙළ, උසස් පෙළ කරන දරුවනි, මොන බාධාව තිබුණත් ඔබටත් ඉතාම ශුභ කාලයකි. පළමු වාරයෙන්ම සියලුම ජයග්‍රහණ අත්පත් කරගන්න.

කවුරු ආශ්‍රය කළත් සිහිබුද්ධියෙන් ඉන්න. ඔබේ දෙමාපියන් ඔබ එළියට ගිය විට වෙන දේ දන්නෙ නැත. විශේෂයෙන් ගැහැනු දරුවෝ තම චරිතය රැක ගන්න. මත්පැන් හෝ වෙනත් මත්වන දේට ඇබ්බැහි නොවන්න. ගෙදරින් පිට සමාජය බියකරුයි. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

දිවයින පුවත්පත ඇසුරෙන්..

Comments