සෑම වසරකම ඒ කාලයට, සෞදි අරාබියේ මක්කම (Mecca) නගරය මුළු ලෝකයේම කේන්ද්‍රස්ථානය බවට පත්වෙනවා. ඒ ඇයි කියලා ඔබ දන්නවාද? ලෝකයේ සිටින බිලියන 1.8ක් පමණ වන මුස්ලිම් ජනතාවට මක්කම කියන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික නිවහන (spiritual home).
පිටතින් බැලුවොත්, හජ් (Hajj) කියන්නේ ඉතාම පූජනීය උත්සවයක්. නමුත් මේ පිටුපස සැඟවී ඇත්තේ ලෝකයේම තිබෙන අතිශය සුවිශේෂී ආර්ථික ආකෘතියක්.
මේ “හජ් ආර්ථිකය” හරහා සෞදි අරාබියට බිලියන ගණනක ආදායමක් ලැබෙනවා. ඒ වගේම එය යටිතල පහසුකම් සංවර්ධනයට, කර්මාන්ත දියුණුවට සහ සෞදි අරාබියට සුවිශේෂී භූ-දේශපාලන බලපෑමක් ලබා දීමට දායක වෙනවා.
මේක සාමාන්‍ය “සංචාරක ව්‍යාපාරයක්” නෙවෙයි. මෙහි ඉල්ලුම ස්ථිරයි (inelastic), සැපයුම සීමිතයි (fixed), සහ මේ සමස්ත ක්‍රියාවලියේ පාලනය ඇත්තේ සෞදි රාජ්‍යය (Saudi state) අතේ.
ඉතින්, ලෝකයේ විශාලතම ආගමික එක්රැස්වීමක්, බිලියන ගණනක ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
වසර 1,400ක් පැරණි සැපයුම් දාමය
හජ් කියන්නේ ඉස්ලාම් ආගම තරම්ම පැරණි වගකීමක්. නමුත් නවීන හජ් ආර්ථිකය ගොඩනැඟී ඇත්තේ පසුගිය දශක කිහිපය තුළයි.
1970 ගණන්වලදී වසරකට මිලියනයකටත් අඩු වන්දනාකරුවන් සංඛ්‍යාවක් පැමිණියත්, අද වනවිට නිල වශයෙන් දින පහක හජ් උත්සවය සඳහා පමණක් මිලියන 2.5කට වැඩි පිරිසක් සහභාගී වෙනවා.
වසරේ අනෙකුත් කාලවලදී උම්රා (Umrah) වන්දනාව සඳහා මිලියන දස දහස් ගණනක් පැමිණෙනවා.
මේ තරම් විශාල පිරිසක් කළමනාකරණය කරන්නට සෞදියට විශාල ජාතික වෑයමක් දරන්නට සිදුවෙනවා. “හජ් හා උම්රා අමාත්‍යාංශය” වීසා නිකුත් කිරීමේ සිට, ජනකාය පාලනය, ප්‍රවාහනය සහ ආරක්ෂාව දක්වා සෑම දෙයක්ම සම්බන්ධීකරණය කරනවා.
එක් එක් වන්දනාකරුට පූජනීය ස්ථාන කිහිපයක් හරහා ගමන් කරන්නට සිදුවෙනවා. මේක ලෝකයේ විශාලතම ක්‍රීඩා ඉසව්වල තිබෙන logistics අභියෝගයටත් වඩා විශාලයි!
ඇදහිල්ලට මිලක් නියම කිරීම
වන්දනාකරුවෙක් මේ ගමන සඳහා $3,000 සිට $10,000 දක්වා මුදලක් වැය කරනවා. ඒ වියදම ඔවුන් පැමිණෙන රට සහ ඔවුන් තෝරා ගන්නා සේවාවේ මට්ටම මත රඳා පවතිනවා.
මේ පැකේජ මිලට ගුවන් ගමන්, නවාතැන්, ගොඩබිම් ප්‍රවාහනය, ආහාර සහ මාර්ගෝපදේශ ඇතුළත් වෙනවා. මේ සියල්ල බලපත්‍රලත් හජ් මෙහෙයුම්කරුවන් විසින් සපයනු ලබනවා.
සමහරුන්ට පූජනීය ස්ථානවලට ඈතින් ඇති සරල ඩෝමිටරි කාමර හිමිවන විට, තවත් සමහරුන්ට කබා දෙසටම මුහුණලා ඇති පස්-තරු හෝටල්, පුද්ගලික සූපවේදීන්, සහ සුඛෝපභෝගී පහසුකම් හිමි වෙනවා.
වැදගත්ම දේ තමයි, සෞදි රජය විසින් එක් එක් රටකට එහි ජනගහනය අනුව වන්දනාකරුවන් යැවිය හැකි නිල කෝටාවන් නියම කර තිබීම.
මෙය ජනකාය පාලනයට උපකාරී වුවත්, එය හිඟයක් ඇති කරනවා. එමගින් හජ් යනු ලෝකයේම වැඩිම ඉල්ලුමක් ඇති booking එකක් බවට පත් වෙනවා.
ආර්ථිකයේ “රැලි බලපෑම”
හජ් මඟින් සෘජුවම ලැබෙන ආදායම දැවැන්තයි. වාර්ෂිකව බිලියන 8ත් 12ත් අතර මුදලක් ලැබෙන බවට ගණන් බලා තිබෙනවා. නමුත් මෙය මතුපිට ස්ථරය පමණයි. මෙම වන්දනාව සෞදි ආර්ථිකය පුරාම රැලි බලපෑමක් ඇති කරනවා.
හෝටල්: හජ් සමයේදී මක්කම නගරයේ හෝටල් සියල්ලම පාහේ පිරී ඉතිරී යනවා. Hilton, Marriott, and Accore වැනි ගෝලීය හෝටල් ජාල සඳහා මේවා මැද පෙරදිග වඩාත්ම ලාභදායී දේපළ බවට පත්ව තිබෙනවා.
ගුවන් සේවා: ජෙඩාහි කිං අබ්දුලාසීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ හජ් සහ උම්රා සමයන්හිදී මිලියන 20කට අධික මගීන් ප්‍රමාණයක් හසුරුවනවා. ඒ සඳහා දහස් ගණනක් අමතර ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරෙනවා.
කුඩා ව්‍යාපාර: වීදි ආහාර වෙළෙන්දන්, සිල්ලර වෙළඳසැල් සහ කුලී රථ රියදුරන් ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් වැඩි කොටසක් උපයන්නේ මේ සති කිහිපය තුළයි.
විශේෂිත සැපයුම් දාම: පාකිස්තානය, ඉන්දියාව සහ ඉන්දුනීසියාවේ රෙදිපිළි කම්හල් මගින් මිලියන ගණනක් ඉහ්රාම් ඇඳුම් නිපදවනු ලබනවා. කේටරින් සමාගම් දිනපතා හලාල් ආහාර වේල් මිලියන ගණනක් සපයනවා.
මක්කම වාණිජ මණ්ඩලයට (Mecca Chamber of Commerce) අනුව, වන්දනාකරුවෙකු වියදම් කරන සෑම රියාල් එකකින්ම වක්‍ර ආර්ථික ක්‍රියාකාරකම්වලින් රියාල් තුනත් හතරත් අතර ප්‍රමාණයක් උත්පාදනය වෙනවා.
මේ නිසයි සෞදි අරාබියේ “Vision 2030” වැඩසටහන යටතේ වාර්ෂික ආගමික සංචාරකයන් සංඛ්‍යාව මිලියන 18 සිට මිලියන 30 දක්වා පුළුල් කිරීමට ඉලක්ක කර තිබෙන්නේ.
යටිතල පහසුකම් යනු උපාය මාර්ගයක්
මේ විශාල පිරිස කළමනාකරණය කිරීමට සෞදි අරාබිය යටිතල පහසුකම් සඳහා බිලියන ගණනක් ආයෝජනය කර තිබෙනවා.
- Haramain highspeed railway මාර්ගය මක්කම, මදීනා සහ ජෙඩා පැය 2කින් සම්බන්ධ කරනවා.
- Mina හි ඇති විශාල වායුසමනය කළ කූඩාරම් දස දහස් ගණනක් වන්දනාකරුවන්ට නවාතැන් සපයනවා.
- කෘතිම බුද්ධිය (AI) යොදා ගනිමින් ක්‍රියාත්මක වන ජනකාය නිරීක්ෂණ පද්ධති සහ වන්දනාකරුවන්ට ඔවුන්ගේම භාෂාවෙන් මඟ පෙන්වන ජංගම යෙදුම් (mobile apps) වැනි තාක්ෂණය විශාල කාර්යභාරයක් ඉටු කරනවා.
මේ ආයෝජන හුදෙක් පහසුව සඳහා පමණක් නෙවෙයි; ඒවා උපායමාර්ගිකයි. වන්දනාකරුවන්ගේ අත්දැකීම් සුමට වන තරමට, ඔවුන්ගේ සතුට ඉහළ යනවා, උම්රා සඳහා නැවත පැමිණීම වැඩි වෙනවා, සහ සෞදි අරාබියට ගෝලීය වශයෙන් යහපත් සද්භාවයක් ගොඩනැඟෙනවා.
Soft Power සහ අනාගතය
සෞදි අරාබියට හජ් කියන්නේ ආර්ථික එන්ජිමකට වඩා එහා ගිය දෙයක්. එය soft power කුළුණක්. වන්දනාකරුවන් සාර්ථකව කළමනාකරණය කිරීමෙන් මුස්ලිම් ලෝකය තුළ රාජධානියේ පිළිගැනීම ඉහළ යනවා. එය සෑම වසරකම රටවල් 180කට අධික සංඛ්‍යාවක් සමඟ සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරනවා.
අනාගතයේදී සෞදි අරාබියේ ප්‍රධාන අභියෝගය වන්නේ පාලනය නොනසා ව්‍යාපාරය පුළුල් කිරීමයි. 2030 වන විට ආගමික සංචාරක ව්‍යාපාරය දෙගුණ කිරීමට ඔවුන්ට අවශ්‍යයි. නමුත් හජ් භෞතිකව සහ ආධ්‍යාත්මිකව මක්කමෙහි භූගෝලීය පිහිටීමට සීමා වී තිබෙනවා.
ඒ සඳහා ඇති විසඳුම විය හැක්කේ වසර පුරා උම්රා වන්දනාව පුළුල් කිරීම, premium පැකේජ හඳුන්වා දීම සහ නව සේවා, අත්දැකීම් සහ හවුල්කාරිත්වයන් හරහා ආර්ථික පරිසර පද්ධතියෙන් වැඩි ආදායමක් උපයා ගැනීමයි.
හජ් ආර්ථිකය වෙනත් කිසිම ව්‍යාපාරයකට සම කළ නොහැකියි. ස්ථිර ගෝලීය ඉල්ලුම, සැපයුමේ සීමාවන්, සහ මිලකරණය පිළිබඳ සම්පූර්ණ පාලනය – මේවා ඕනෑම ව්‍යාපාරයකට හීනයක්! නමුත් මෙහිදී සෞදි අරාබියේ සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් මුදල් ගනුදෙනුවෙන් ඔබ්බට ගිය වටිනාකමක් ලබා දීම මතයි. එය ඔවුන් දශක ගණනාවක් තිස්සේ සාර්ථකව සිදු කර තිබෙනවා.