මේ තත්ත්වය රටින් රටට වෙනස් වෙනවා වගේම, සමහර රටවල් තමන්ගේ හිටපු නායකයන්ට උපරිම ගෞරවයක් හා පහසුකම් ලබා දෙනකොට, තවත් රටවල් ඒ වරප්‍රසාද සීමා කරලා තියෙනවා. මේ වෙනස ඇතිවෙන්නේ ඒ රටේ ආර්ථික තත්ත්වය, දේශපාලන සංස්කෘතිය සහ නීති පද්ධතිය මතයි.
අපි බලමු ලෝකයේ ප්‍රමුඛ රටවල් කිහිපයක මේ තත්ත්වය කොහොමද කියලා.
ඇමරිකා එක්සත් ජනපදය:
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන වරප්‍රසාද පද්ධතිය ලෝකයේම වඩාත්ම සම්පූර්ණ එකක්. “Former Presidents Act” යටතේ ඔවුන්ට ජීවිත කාලය පුරාම විශ්‍රාම වැටුපක් ලැබෙනවා.
ඊට අමතරව, නිල කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, වෛද්‍ය පහසුකම්, සහ මරණය දක්වාම “Secret Service” ආරක්ෂාව හිමි වෙනවා.
ඉන්දියාව:
ඉන්දියාවෙත් හිටපු ජනාධිපතිවරුන්ට ඉතා හොඳ වරප්‍රසාද ලැබෙනවා. දැනට ඔවුන්ට මාසිකව රු. 2.5 ලක්ෂයක් පමණ විශ්‍රාම වැටුපක් ලැබෙන අතර, නිල නිවසක්, වෛද්‍ය පහසුකම්, ගමන් වියදම් සහ කාර්ය මණ්ඩලයක් වැනි පහසුකම් සමූහයක් හිමි වෙනවා.
ගහනා:
ගහනා රාජ්‍යය හිටපු ජනාධිපතිවරුන්ට දෙන වරප්‍රසාද නිසා නිතරම විවේචනයට ලක්වෙනවා. ඔවුන්ට නිවාස, වාහන කිහිපයක්, රියදුරන්, කාර්ය මණ්ඩල, ජීවන විශ්‍රාම වැටුපක් සහ විදේශ ගමන් වියදම් වැනි පහසුකම් ලැබෙනවා.
මේවා අතිශය සුඛෝපභෝගී වියදම් ලෙස තමයි බොහෝදෙනා දකින්නේ.
එක්සත් රාජධානිය (UK):
UK හි හිටපු අග්‍රාමාත්‍යවරුන්ට ඇමරිකාවේ වගේ ජීවිත කාලෙටම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ.
ඒ වෙනුවට, “Public Duty Costs Allowance (PDCA)” යටතේ වසරකට උපරිම £115,000 ක දීමනාවක් ලැබෙනවා. මේ මුදල ඔවුන්ට මහජන සේවය අඛණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍ය කාර්යාල සහ කාර්ය මණ්ඩල වියදම් සඳහා පමණක් යොදා ගන්න පුළුවන්.
ජපානය සහ සිංගප්පූරුව:
මේ රටවල් දෙකම හිටපු නායකයින්ට දෙන වරප්‍රසාද සීමා කරලා තියෙනවා. ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන්ට ජීවන විශ්‍රාම වැටුප් නොලැබෙන අතර, නිල කටයුතුවලදී පමණක් ආරක්ෂාව සහ කාර්ය මණ්ඩල සහය ලැබෙනවා.
සිංගප්පූරුවෙත් හිටපු ජනාධිපතිවරුන්ට ජීවන විශ්‍රාම වැටුප් නැහැ. ඔවුන්ගේ නිල කටයුතුවලදී ආරක්ෂාව සහ වෙනත් රාජ්‍යමය සහයෝගය ලැබෙනවා.
දකුණු කොරියාව:
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් හා ආරක්ෂාව ලැබුණත්, ඔවුන් දූෂණ හෝ නීතිවිරෝධී ක්‍රියාවලට වැරදිකරුවන් වුණොත් මේ වරප්‍රසාද අහිමි වෙනවා.
මෙය වගවීම සහ නීතිය ඉදිරියේ සියලු දෙනා සමානයි කියන සංකල්පය ඉස්මතු කරනවා.
ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක්
ශ්‍රී ලංකාව මේ මාතෘකාව සම්බන්ධයෙන් සුවිශේෂී උදාහරණයක්. 1986 “Presidents’ Entitlements Act” යටතේ හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස, ආරක්ෂාව, වාහන සහ කාර්ය මණ්ඩල වගේ බොහෝ වරප්‍රසාද ලැබුණා.
නමුත්, 2025 දී ගෙනා “Presidents’ Entitlements (Repeal) Act No.18 of 2025” නීතිය යටතේ මේ සියලු වරප්‍රසාද අහෝසි කරලා තියෙනවා.
ලෝකයේ රටවල් අනුව හිටපු රාජ්‍ය නායකයින්ට ලැබෙන වරප්‍රසාද විශාල වශයෙන් වෙනස් වෙනවා. ඇමරිකාව, ඉන්දියාව, සහ ගහනා වැනි රටවල් ඔවුන්ට උපරිම පහසුකම් ලබා දෙනකොට, සිංගප්පූරුව සහ ජපානය වැනි රටවල් ඒවා සීමා කරලා තියෙනවා.
ශ්‍රී ලංකාව මේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම හරහා, ඉදිරියේදී රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරන පුද්ගලයන්ට හිමි වන වරප්‍රසාද සම්බන්ධයෙන් නව ප්‍රවේශයක් ගෙන ඒමට උත්සාහ කරනවා.