අපේ කොළඹ අවටත් පොඩි පොඩි ඔෆිස් හිස් වෙනවා වගේ මේ ලෝකේ ලොකු ටෙක් කම්පැනි තියෙන හැම තැනකම ටෙක් ඔෆිස් දැන් හිස් වෙලා. අහස උසට හදපු, ලයිට් දාලා තිබ්බ ලස්සනම ලස්සන බිල්ඩින්ග්ස් දැන් පාළු වෙලා.
කලින් නම් servers සද්ද, මිනිස්සුන්ගේ කතාබහ ඇහිලා පිරී තිබ්බ මේ තැන් දැන් නිස්සබ්දයි. හිතාගන්නත් බැරි තරම්, 2023 ඉඳලා වර්ග අඩි මිලියන 30 ක් විතර ටෙක් ඔෆිස් ස්පේස් හිස් වෙලා. මේකට හේතුව තමයි Remote Work වැඩිවීම.
මේක නිකන් වැඩ කරන විදිහේ වෙනසක් විතරක් නෙවෙයි, රටේ economy එකට, සමාජයට ලොකු බලපෑමක් තියෙනවා. සමහරු නම් මේකට කියන්නේ “Urban Doom Loop” කියලා. අහනකොටත් බය හිතෙනවා නේද?
සැන් ෆ්‍රැන්සිස්කෝ වලට මොකද වුණේ?
ඇමරිකාවේ, සැන් ෆ්‍රැන්සිස්කෝ කියන්නේ ටෙක් ලෝකේ හාට් එක වගේ තැනක්. ඒත් දැන් ඒක හිස් වෙලා. වාණිජමය වශයෙන් හිස් වෙලා තියෙන space ප්‍රමාණය 34% ටත් වැඩියි. මේක ඇමරිකාවේම වැඩිම ගාන.
ඒ නගරේ, මිනිස්සුන්ගෙන් පිරිලා තිබ්බ පාරවල්, පොඩි කඩවල්, gym පවා දැන් හිස්. Laundromats වලටයි, gym වලටයි කලින් ආපු මිනිස්සුන්ගෙන් 50% – 70% ක්ම දැන් එන්නේ නැහැ.
Public transport පාවිච්චි කරන අයත් ගොඩක් අඩු වෙලා. මේක පොඩි දෙයක් නෙවෙයි. නගරයකට එන බදු ආදායම, මිනිස්සුන්ගේ jobs, පොදු සේවාවන් හැමදේටම මේක බලපානවා.
සැන් ෆ්‍රැන්සිස්කෝ වලට 2024 දී budget deficit එකක් ආවා ඩොලර් මිලියන 800 කට වැඩියෙන්. හේතුව ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික දේපල වලින් ආදායම අඩු වුණු නිසයි. මේක අනිත් නගර වලටත් හොඳ warning එකක්.
ටෙක් ඔෆිස් හිස් කරන්නේ ඇයි?
මේ තත්ත්වයට හේතු ගොඩක් තියෙනවා. මුලින්ම ආවේ pandemic එක. ඒක නිසා ඇමරිකාවේ ටෙක් සේවකයන්ගෙන් 90% ක් විතර 2020 දී remote වැඩ කරන්න පටන් ගත්තා. අපි හිතුවේ ඒක තාවකාලික දෙයක් වෙයි කියලා. ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා.
2023 වෙනකොට ඇමරිකාවේ ටෙක් සේවකයන්ගෙන් 26% ක් විතරයි සතියට දවස් තුනක් හරි ඊට වැඩියෙන් හරි ඔෆිස් එකට යන්නේ. හැබැයි මේක හුදු work from home තත්ත්වයක් විතරක් නෙවෙයි, කම්පැනි වල strategy එකක්.
2022 ජනවාරි ඉඳලා මේ වෙනකම් ලෝකේ පුරා ටෙක් සේවකයන් 525,000 කට වඩා, ඇමරිකාවේ විතරක් 310,000 ක්, layoff කරලා තියෙනවා.
Meta, Google, Amazon වගේ ලොකු කම්පැනි “ඕනෑම වියදමකින් වර්ධනය වීම” කියන strategy එකෙන් “අඩුවෙන් වැඩියෙන් කිරීම” කියන එකට මාරු වෙලා. ඒකට AI දියුණුවත් ලොකුවට බලපාලා තියෙනවා.
McKinsey ගේ 2024 report එකෙන් කියන්නේ 2021 ට සාපේක්ෂව කම්පැනි වල workforce එක 12% කින් අඩු වෙලා තිබ්බත්, එක් සේවකයෙකුගෙන් එන ආදායම 19% කින් වැඩි වෙලා කියලා.
මේ වෙනස employees ලට දෙන perks වලටත් බලපානවා. කලින් ටෙක් කම්පැනි වලට ගියාම නොමිලේ කෑම, විනෝද සාද වගේ දේවල් තිබ්බා. දැන් ඒ හැමදේම අඩු කරලා.
නගරවල අනාගතයට මොකද වෙන්නේ?
මේකේ දිගුකාලීන බලපෑම ගොඩක් දුර යන්න පුළුවන්. Moody’s අධ්‍යයනයකින් කියනවා, ටෙක් ඔෆිස් හිස් වීම නිසා ලොකු ටෙක් නගරවල GDP එක අවුරුද්දකට 4% – 6% කින් අඩු වෙන්න පුළුවන් කියලා, ඒක ඊළඟ අවුරුදු දහය පුරාවටම තියෙන්න පුළුවන්.
ඒ වගේම, මේ ටෙක් ඔෆිස් හදලා තියෙන්නේ ටෙක් කම්පැනි වලටම ගැලපෙන්න. ඒ නිසා හිස් වුණු මේ buildings වෙන වැඩවලට convert කරන්නත් අමාරුයි. මේක නගරවලට ලොකු challenge එකක්.
Efficiency එකයි, adaptability එකයි කියන්නේ ඕනෑම industry එකකට අත්‍යවශ්‍ය දේවල්.
ඒත් ටෙක් sector එකේ මේ වෙන්නේ හරිම වේගවත් ලොකු වෙනසක්. මේක සාමාන්‍ය වෙළඳපල වෙනස් වීමක්ද, නැත්නම් අපේ නගර වල මුල් අඩිතාලමම වෙනස් වෙන එකක්ද?
මේ කලින් සජීවීව තිබ්බ ටෙක් ඔෆිස් වල නිශ්ශබ්දතාවය හිස් පුටු ගැන විතරක් කියන කතාවක් නෙවෙයි; ඒක වෙනස් වෙන ලෝකයක් ගැන කියන කතාවක්. ඇත්තටම urban doom loop එකකට වැටෙන්නේ නැති වෙන්න නම්, නගර මේකට ඉක්මනටම address කරන්න ඕනෙ.