නිළි සප්නා පාදුක්ක මේ වන විට දෙමළ සිනමාවට පිවිස ඇති බව ඔබ දන්නවා ඇති. ඇය පවසන්නේ මේ අවස්ථාව ලැබී ඇත්තේ සංගීත වීඩියෝවක් හරහා බවයි.
ත්‍රිකුණාමලයේ දෙමළ ගායකයෙකුගේ සංගීත වීඩියෝවකට රංගනයෙන් දායක වීමෙන් පසු, යාපනයේ ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඊලවානි, 2023 වසරේදී ඇගේ රංගනය දැක චිත්‍රපටයක ගීත ප්‍රවර්ධන රංගනයකට ආරාධනා කර තිබෙනවා. එම රංගනයත් සමඟ ඇය දෙමළ චිත්‍රපට නිර්මාණකරුවන් අතර ප්‍රසිද්ධ වූ අතර, මෑතකදී රූගත කළ ‘කාදල් ක්‍රයිම්’ දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබී තිබෙනවා. තවද, මේ වන විට තවත් දෙමළ චිත්‍රපට දෙකක රඟපෑමට ඇයට ආරාධනා ලැබී ඇති බවද සප්නා සඳහන් කරනවා.
සප්නා පවසන්නේ දෙමළ සිනමා නිර්මාණකරුවන් නළු නිළියන්ව වටිනා වස්තුවක් ලෙස සලකන බවයි. විශේෂයෙන්ම ඔවුන්ගේ පහසුකම්, කෑම බීම සහ සතුට පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන බව ඇය පවසනවා. නළු නිළියන් අපහසුවෙන් හෝ අසතුටින් සිටී නම්, වහාම රූගත කිරීම් නවත්වා ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා, ඔවුන් යථා තත්ත්වයට පත් වූ පසු නැවත රූගත කිරීම් ආරම්භ කරන බවද ඇය වැඩිදුරටත් කියා සිටිනවා.
සප්නාගේ ඉදිරි සැලැස්ම වන්නේ දෙමළ භාෂාව හොඳින් හැදෑරීමයි. ඇයට දැනට දෙමළ භාෂාව ටිකක් කතා කිරීමට හැකි අතර, දෙමළ අය කතා කරන දේ තේරුම් ගත හැකි වුවත්, දෙමළ භාෂාවෙන් පිළිතුරු දීමට නොදන්නා බව ඇය පවසනවා. ලබන වසර වන විට දෙමළ භාෂාව හොඳින් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කරනවා. මේ අනුව, ඉදිරියේදී ඇයව තවත් බොහෝ දෙමළ නිර්මාණවලින් දැක ගැනීමට හැකි වනු ඇත.