සුබම සුබ සතියක් වේවා! මේ 2025 ජුලි මස 20 වන දා සිට 26 වෙනි දා දක්වා සතියේ ඔබේ ලග්නයට අදාළ පොදු ලග්න පලාපල මෙලෙසින් පෙන්නුම් කරනවා.
🌞 මකර ලග්නය 🌛
මකර ලග්න හිමියන්ට මේ සතියේ හිතේ සැනසිල්ල තරමක් අඩු විය හැකි වුවත්, පැවති අවිවේකී බව ටිකක් දුරට අඩු වෙයි. අලුත් හිතවත්කම් ඇති කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර, ඥාතියෙකුගෙන් උදව් උපකාර හිමි වේ. පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමටත් ඉඩ ලැබේවි. වියදම් කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත්. විවාහය සම්බන්ධ කටයුත්තක් සාර්ථක වන බවක් පෙනෙන අතර, ගෘහ ජීවිතය තුළ සාමකාමී බවක් ඇති වේවි. වැඩිහිටියන්ගේ ආශිර්වාදයත් ඔබට හිමි වෙයි.
රැකියාවේදී ඉදිරි සැලසුම් වෙනස් කරන්න සිදුවිය හැකි වුවත්, ඔබගේ වෙහෙසට සහ කැපවීමට හොඳ ප්‍රතිඵල අත්වෙයි. උසස් නිලධාරීන්ගේ අවධානය ඔබට යොමු වන සතියකි. කලා ක්ෂේත්‍රයේ රැකියා වලට යොමු වීමට අවස්ථාව ලැබෙන අතර, දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතු වලින්ද සාර්ථකත්වය අත්වෙයි. අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරන අතර, තරඟ විභාග වලින් ජයග්‍රහණ ලැබීමට ඉඩ ඇත. අධ්‍යාපනය වෙනුවෙන් පදිංචියෙන් පිට යාමට සිදුවිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික වෙහෙසක් දැනෙන්න පුළුවන්. කොන්ද සහ උරහිස ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි අතර, රුධිරයේ සීනි මට්ටම ගැන සැලකිලිමත් වීම වැදගත්.
🌞 කුම්භ ලග්නය 🌛
කුම්භ ලග්න හිමියන්ට මේ සතියේ යහපත් මානසිකත්වයකින් යුතුව අභියෝගයන්ට මුහුණ දීමට හැකියාව ලැබෙයි. ඉවසීමෙන් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කළ යුතු සතියකි. පැවති කරදර බාධා මඟහැරී යන බවක් පෙනේ. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ අය අතර කැපී පෙනුනත්, අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම වැදගත්. පවුලේ වගකීම් වලදී මූලිකත්වය ගැනීමට සිදුවිය හැකියි. විදෙස්ගත අයෙකුගෙන් උදව් උපකාර හිමි වන අතර, බලාපොරොත්තු වූ දේපළ සම්බන්ධ කටයුත්තක් නිරාකරණය වෙයි. මූල්‍ය කටයුතු වලදී හදිසි තීරණ ගැනීමෙන් වළකින්න.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවේ. මුරණ්ඩු තීරණ නිසා රැකියා කටයුතු වල වෙනස්කම් සිදුවිය හැකි අතර, තනතුරු හෝ ස්ථාන වෙනස් වීම් වලටද ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න. තරඟ විභාග වලින් ජයග්‍රහණ අත් කරගත හැකි අතර, උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නව පාඨමාලාවක් සඳහාද සැලසුම් සකස් කරයි.
සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත්, නින්දට බාධා ඇතිවිය හැකියි. සෙම් රෝග උත්සන්න විය හැකි අතර, ඌෂ්ණාධික රෝග ඇතිවිය හැකි බැවින් ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න. ජලය සම්බන්ධ කටයුතු වලදීද ප්‍රවේශම් වීම වැදගත්.
🌞 මීන ලග්නය 🌛
මීන ලග්න හිමියන්ට මේ සතිය නව බලාපොරොත්තු ඇති කරවන සතියකි. තරමක් අවිවේකී වුවත්, සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. අධික සංවේදී බව පාලනය කර ගැනීමට කටයුතු කරන්න. ඕනෑවට වඩා අන් අයව විශ්වාස කිරීමට යාමෙන් ගැටළු සහ සිත් රිදීම් ඇතිවිය හැකියි. අමතර වියදම් ඇතිවන අතර, ගේදොර අලංකරණය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ අයෙකුගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. දුර ගමනක් වෙනුවෙන් සැලසුම් කරන අතර, පොරොන්දු ගිවිසුමක් සාර්ථක වෙයි.
නිර්මාණශීලී ක්ෂේත්‍රවල නිරත අයට මේ සතිය සුබයි. රැකියා කටයුතු වල පැවති බාධා මඟහැරී යන අතර, ඇවිදිලි වැඩි කරන රැකියා කටයුතු වලට යොමු වන බවක් පෙනේ. සුළු ලාභ ඇති කරවන රැකියා හෝ ස්වයං රැකියා සඳහා යොමු වීමට අවස්ථාව ලැබේ. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු වල නිරත වන අතර, ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමට කැමැත්තක් දක්වයි. විදෙස් අධ්‍යාපනය වෙනුවෙන්ද සැලසුම් කරයි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, සෙම් රෝග සහ පීනස් රෝග උත්සන්න විය හැකියි. නින්දට තරමක් බාධා ඇතිවන අතර, කොන්ද ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකියි. ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
🌞 මේෂ ලග්නය 🌛
මේෂ ලග්න හිමියන්ට මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති කටයුත්තක් මේ සතියේදී සාර්ථක කර ගැනීමට ලැබෙයි. යොදාගත් සැලසුමක් සාර්ථක වන බවක් පෙනේ. ගේදොර අලුත්වැඩියා කටයුතු කෙරෙහි සිත යොමු වන අතර, නිතර විසිතුරු දේට ඇල්මක් දක්වයි. ආගමික කටයුත්තක් වෙනුවෙන්ද වෙහෙසෙයි. යුග සහ ප්‍රේම සම්බන්ධතා තුළ අභියෝග ඇතිවිය හැකි බැවින්, අවබෝධයෙන් සහ ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.
රැකියා කටයුතු සම්බන්ධව දුරදිග සිතා බලා තීරණ ගන්න. කාර්යබහුල වුවත්, රැකියා කටයුතු සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබේ. වෘත්තීමය වශයෙන් දැරූ වෙහෙසට ප්‍රතිඵල ලැබෙන අතර, තනතුරු ස්ථිර වීම් බලාපොරොත්තු වූ අයට සුබයි. මූල්‍යමය ආයෝජන වලට සුබ වුවත්, බුද්ධිමත් විය යුතුය. ස්වයං රැකියා මාර්ග වලටද යොමු වන බවක් පෙනේ. තරඟ විභාග වලට එක්වීමට අවස්ථාව ලැබෙන අතර, අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ශාරීරික වෙහෙස මහන්සියක් දැනෙන්න පුළුවන්. දත් ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි අතර, කොන්ද ආශ්‍රිත ආබාධයක්ද සිදුවිය හැකියි. රුධිරයේ සීනි මට්ටම ගැන වෙනදාට වඩා සැලකිලිමත් වීම වැදගත්.
🌞 වෘෂභ ලග්නය 🌛
වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ ධනාත්මක ආකල්ප ඇති කර ගැනීම වැදගත්. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග බලා කටයුතු කරන්න. පැවති ගැටළුකාරී තත්ත්වයක් සමතයකට පත් වන බවක් පෙනේ. සහෝදර සහෝදරියන් අතර බැඳීම් ශක්තිමත් වීමට හේතු යෙදෙන අතර, පුණ්‍ය ක්‍රියා වලද නිරත වෙයි. අනපේක්ෂිත වියදම් ඇතිවිය හැකි වුවත්, අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක්ද යෙදෙනවා. ගෘහ සහ යුග ජීවිතය සාමකාමී වන අතර, සහකරු හෝ සහකාරියගෙන් උදව් උපකාර හිමි වෙයි.
ඔබගේ උගත්කමට සරිලන රැකියා ලැබීමට අවස්ථාව පවතිනවා. රැකියාවේ නව අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකි වුවත්, රැකියා කටයුතු සම්බන්ධ සුබදායක දෙයක් අසන්නට ලැබෙයි. දැනට කරන රැකියාවට අමතර රැකියා මාර්ග වලටද හේතු සැලසෙන අතර, අලුත් දේ ඉගෙනීමට කටයුතු කරයි. ගණිත අංශයේ කටයුතු වලින් දක්ෂතා පෙන්වන අතර, ගුප්ත ශාස්ත්‍රයටද ප්‍රිය වෙයි. විදෙස් අධ්‍යාපනය වෙනුවෙන්ද සැලසුම් කරයි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ශරීරය වෙහෙසීම් බහුල විය හැකියි. උදරය, උගුර, පපුව හෝ පෙනහළු ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි අතර, හදිසි වැටීම් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
🌞 මිථුන ලග්නය 🌛
මිථුන ලග්න හිමියන්ට මේ සතිය ලැබීම් සහිත සතියකි. උත්සාහයෙන් කටයුතු කරන අතර, හදිසි ගනුදෙනුවකට අවස්ථාව උදා වන බවක් පෙනේ. අනපේක්ෂිත වියදම් ඇතිවිය හැකියි. පවුලේ කටයුතු වලදී මූලිකත්වය ගැනීමට සිදුවන අතර, විදෙස්ගත ඥාතියෙකු හෝ හිතවතෙකු හමුවීමක් සිදුවිය හැකියි. පරම්පරාගත දේපළ බලාපොරොත්තුවක් ඉටු විය හැකි අතර, පුණ්‍ය කටයුතු වල යෙදීමටද අවස්ථාව ලැබේ. දරුඵල අපේක්ෂාවෙන් සිටි අයටද මේ සතිය සුබයි.
ඔබගේ උගත්කමට සරිලන රැකියා හිමි වන අතර, රැකියාව හෝ ව්‍යාපාර තුළ යම් අවිනිශ්චිතතා ඇතිවිය හැකියි. ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය ඔබට යොමු වේ. නව ව්‍යාපාර ආරම්භයට සැලසුම් කරන බවක්ද පෙනේ. අධ්‍යාපනයට යම් බාධා ඇති වුවත්, උත්සාහයෙන් කටයුතු කළ යුතු වේ. පොත පත කියැවීමට ප්‍රිය වන අතර, උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙයි. තරඟ විභාගයක් සඳහාද සූදානම් වන බවක් පෙනේ.
සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තොත්, ස්නායු ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් විය යුතු අතර, පාද ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකියි. පරම්පරාගත රෝගයක් ඉස්මතු වීමේ ඉඩක්ද පවතිනවා.
🌞 කටක ලග්නය 🌛
කටක ලග්න හිමියන්ට මේ සතියේ ඔබ ගන්නා තීරණ බොහෝ දුරට සාර්ථක වන බවක් පෙනේ. සිතේ සැහැල්ලුවක් ඇතිව කටයුතු කරන අතර, කඩිසර බවක් පෙන්නුම් කරයි. ප්‍රියමනාප වන අතර, වෙනදාට වඩා බාහිර පෙනුම ගැන සිතයි. හිතවත්කම් අලුත් කරන සතියකි. පවුලේ උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට ඉඩ ලැබෙන අතර, ගෘහ හා යුග ජීවිතය සාමකාමී හා සහයෝගයෙන් යුක්ත වේ. පවුලේ දරුවෙකු පිළිබඳව සැලකිලිමත් වන්න.
පුණ්‍ය කටයුතු වල නිරත වන අතර, අනපේක්ෂිත මුදලක් ලැබීමේ ඉඩක්ද පවතිනවා. උනන්දුවෙන්, උත්සාහයෙන් රැකියා කටයුතු කරන අතර, නව ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට ලැබෙයි. රැකියාවේ උසස්වීම් හෝ වැටුප් වැඩිවීම් පිළිබඳ බලාපොරොත්තු අනුමත වන බවක් පෙනේ. රැකියාවේ ඉහළ නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබෙන අතර, ස්වයං රැකියා සඳහාද යොමු වන බවක් පෙනෙයි. ධාරණ ශක්තිය දියුණු වන අතර, දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු වල නිරත වේ. ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමටද ආශා ඇති වේ.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, සෙම් රෝග උත්සන්න විය හැකියි. ගර්භාෂය සහ ආමාශය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි අතර, ජලය ආශ්‍රිත කටයුතු වලින් ප්‍රවේශම් වීම වැදගත්.
🌞 සිංහ ලග්නය 🌛
සිංහ ලග්න හිමියන්ට මේ සතියේ සමාජයේ අන් අයගෙන් ප්‍රශංසා ලැබෙයි. නිතර වයසින් අඩු අය සමඟ කටයුතු කිරීමට ලැබෙනවා. යන එන ගමන් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් හේතුවෙන් වාසිදායක තත්ත්වයක් උදා විය හැකි වුවත්, තීරණ ගැනීමේදී සැලකිලිමත් වීම වැදගත්. පවුලේ අය සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර, අමතර මුදල් වියදම් වන කටයුතු කිහිපයක්ද යෙදේ. අවිවේකී වුවත්, කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ.
රැකියා කටයුතු සැහැල්ලුවෙන් කරන අතර, වෘත්තීමය වශයෙන් ඔබගේ උත්සාහයන් ඇගයීමට ලක් වේ. රැකියාවේ ස්ථාන හෝ තනතුරු වෙනසක් සිදුවිය හැකි බැවින් සැලකිලිමත් වන්න. සෞන්දර්ය කලා අංශයේ රැකියා වෙනුවෙන් යොමු වන බවක් පෙනේ. නව ආයෝජන වලට සුබ වුවත්, බුද්ධිමත් වීම වැදගත්. උසස් අධ්‍යාපන කටයුතු වලට යහපත් වන අතර, නව පොත පත මිලදී ගනියි. ශාස්ත්‍රීය කටයුත්තකටද සම්බන්ධ වීමට සිදුවිය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, හෘදය ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි බැවින් ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්න. උගුර සහ පාද ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකි අතර, පරම්පරාගත රෝගයක්ද ඉස්මතු විය හැකියි.
🌞 කන්‍යා ලග්නය 🌛
කන්‍යා ලග්න හිමියන්ට මේ සතියේ මානසික ප්‍රබෝධයෙන් කටයුතු කළ හැකියි. කඩිසර වන අතර, නව හිතවත්කම් ඇති කර ගනී. මෙතෙක් පැවති අවිවේකී බව මඟහැරී යයි. ප්‍රමාද වෙමින් පැවති තීරණ කිහිපයක් සාර්ථක කර ගැනීමට ලැබෙන බවක් පෙනේ. නව ඥාති සම්බන්ධතා ඇතිවන අතර, ඥාතියෙකුට උදව් උපකාර කිරීමටද සිදුවිය හැකියි. පවුලේ අය සමඟ සහයෝගයෙන් ප්‍රීතියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර, ඔබේ සහකරු හෝ සහකාරියගෙන්ද උදව් ලැබෙයි. වාහන ගනුදෙනුවක් සිදුවිය හැකි අතර, අනපේක්ෂිත මුදලක් ලැබීමේ ඉඩක්ද පවතිනවා.
වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන අතර, නව වැඩ කටයුතු සඳහාද එක් වීමට ලැබෙයි. ඔබගේ දක්ෂතා පෙන්වීමට අවස්ථා සැලසෙන අතර, නව රැකියා අපේක්ෂාවෙන් සිටින අයට මේ සතිය සුබයි. රැකියාවේ ඉදිරි කටයුතු වෙනස් කරන අතර, රැකියා කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවිය හැකියි. දැනුම බුද්ධිය වර්ධනය කරගන්නා කටයුතු වල යෙදෙන අතර, දහම් අධ්‍යාපන කටයුතු වලින්ද විශේෂ ජයග්‍රහණ හිමි විය හැකියි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, ඇස් වල හෝ කන් ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකියි. නිතර නිදිබර ගතියක් දැනෙන අතර, රුධිරගත සීනි මට්ටම ගැන සැලකිලිමත් වන්න. ජලය සම්බන්ධ කටයුතු වලින් ඈත්ව සිටීම යහපත් වේ.
🌞 තුලා ලග්නය 🌛
තුලා ලග්න හිමියන්ට මේ සතියේ සාධාරණව කටයුතු කළ හැකියි. සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වීමට ලැබෙන අතර, නව සම්බන්ධතා ඇති කර ගනී. අන් අය අතර කැපී පෙනීමට ඉඩ ලැබෙන අතර, වෙනදාට වඩා බාහිර පෙනුම අලංකාරය ගැන සිතයි. අමනාප වූ අයෙක් සමඟ නැවත මිත්‍ර වන බවක් පෙනේ. විවාහ යෝජනා ලැබීමේ ඉඩක්ද පවතිනවා. අසරණ අයෙකුට උදව් උපකාර කිරීමට ලැබෙන අතර, මේ කාලයේ ඔබට ලැබෙන අවස්ථා බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගත යුතුය.
ආර්ථික අපහසුතා කිහිපයක් මඟහරවා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, හිතේ සැනසිල්ලෙන් රැකියාවේ කටයුතු කරයි. රැකියාවේ පැවති බාධා ක්‍රමයෙන් යටපත් වී යයි. ජලය ආශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා වලට යොමු වන බවක් පෙනේ. අතමිට සරු කරන ස්වයං රැකියා සඳහා සැලසුම් කරන අතර, හවුල් ව්‍යාපාර හෝ කණ්ඩායම් කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකියි. බාධා ඇති වුවත්, ඉගෙනීම් කටයුතු උනන්දුවෙන් කරයි. සහජ දක්ෂතා ඉස්මතු වන කාලයකි. කලා ක්ෂේත්‍රයේ කටයුතු වලින් කැපී පෙනෙයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, ඌෂ්ණාධික රෝග වලින් පීඩා ගෙනදිය හැකියි. පාද ආශ්‍රිත ආබාධයක්ද ඇතිවිය හැකියි.
🌞 වෘශ්චික ලග්නය 🌛
වෘශ්චික ලග්න හිමියන්ට මේ සතිය උත්සාහයෙන් කටයුතු කරන සතියකි. තරමක් වෙහෙසීම් බහුල වුවත්, ඔබ කල කැපවීම් වලට සාර්ථකත්වයක් ලබාගත හැකි වෙයි. විශේෂ හිතවත්කමකට අවස්ථාව සැලසෙන අතර, සමාජයේ ගෞරවයට පාත්‍ර වන ආකාරයේ කටයුතු කිහිපයක් සිදුවිය හැකියි. දුර සිටින ඥාතියෙකුගේ හමුවීමක් සිදුවිය හැකි අතර, ගේදොර දියුණුව වෙනුවෙන් වෙහෙසෙයි. පවුලේ අය සමඟ හැමවිටම සහයෝගයෙන් සිටීමට උත්සාහ කළ යුතුයි. අලුත් දෑ මිලදී ගනී.
මූල්‍යමය වශයෙන් ආදායම් මාර්ග ශක්තිමත් වන අතර, මුදල් කළමනාකරණය කර ගත යුතුය. මුදල් ආයෝජනය කිරීමේදී බුද්ධිමත් වන්න. රැකියාවේ උසස්වීම් හෝ ස්ථානීය වෙනස්වීම් බලාපොරොත්තු වූවන්ට මේ සතිය සුබයි. දැනට කරන රැකියාවට අමතර රැකියා මාර්ග වලටද යොමු වන බවක් පෙනේ. වෙළඳ ව්‍යාපාර කටයුතු වල නිරත වූවන්ට යහපත් වේ. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු වලට සම්බන්ධ වීමට ලැබෙන අතර, ඉගෙනීම් කටයුතු උත්සාහයෙන් කරගෙන යයි.
සෞඛ්‍ය පැත්තෙන් බැලුවොත්, වරින් වර උගුර ආශ්‍රිත ආබාධ ඇතිවිය හැකියි. සෙම් රෝග නැවත මතු වන අතර, හදිසි ඇද වැටීමක් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
🌞 ධනු ලග්නය 🌛
ධනු ලග්න හිමියන්ට මේ සතියේ වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කළ හැකියි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග බලා කටයුතු කිරීම වැදගත්. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙනවා. අලුත් ඥාති හිතවතුන් හඳුනා ගැනීමට ලැබෙන අතර, හදිසි ගමනක්ද යෙදිය හැකියි. ළඟින් ඇසුරු කරන අයෙකුගේ දුරස් වීමක් සිදුවිය හැකියි. විවාහය සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ. ගෘහ සහ යුග ජීවිතය තුළ වෙනදාට වඩා යහපත් ලෙසින් සිටීමට අවස්ථාව උදා වෙයි.
නව රැකියා අපේක්ෂාවෙන් ඉන්නා අයට මේ සතිය සුබයි. රැකියාවේ පැවති වගකීමකින් නිදහස ලැබෙන අතර, රැකියාවේ කටයුතු සම්බන්ධ කණ්ඩායම් වැඩසටහනකට එක්වීමට අවස්ථාව ලැබෙයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා වලට යොමු විය හැකියි. විදේශීය සබඳතා තුළින් හෝ දුර බැහැර ගමන් තුළින් දියුණුවක් අපේක්ෂා කළ හැකියි. ධාරණ ශක්තිය දියුණු වන අතර, දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු වලට යොමු වේ. ගණිත අංශයට මෙන්ම සියුම් කටයුතු වලදීද දක්ෂතා පෙන්වයි.
සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත්, වරින් වර හිසේ ආබාධ ඇතිවිය හැකියි. ගර්භාෂගත රෝග පීඩා සහ ඇස් ආශ්‍රිත ආබාධද ඇතිවිය හැකියි.