සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව

“රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න” මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ.

අන්තර්ජාල බැංකු සේවාවන් භාවිත කිරීමට ජනතාව පෙළඹීමත් සමග ඒ හරහා සිදුවන වංචා පිළිබඳ වාර්තාවීම් ද දිනෙන් දින ඉහළ යමින් තිබේ.

මෙරට තුළ සිට මෙන්ම විදේශ රටවල සිට ක්‍රියාත්මක මෙම වංචාවන් ගැන කෙතරම් දැනුවත් කිරීම් කළත් ඊට හසුවන පිරිස් ද දිනෙන් දින ඉහළ යන බව වාර්තා වෙයි.

සයිබර් අවකාශයේ ඔස්සේ සිදුකරන මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානයට යොමු වීමට පටන් ගැනුණේ පසුගිය සති කිහිපයේදී මෙරටින් චීන ජාතිකයින් ඇතුළු විදේශිකයින් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමත් සමග ය.

මෙම වසරේ ජූලි මාසයේ සිට ගත් කල මෙරටින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කරන බවට සැකපිට විදෙස් ජාතිකයින් අත්අඩංගුවට ගැනීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ කාල සීමාවක් විය.

පුත්තලම, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක හෝටල් සහ ලැඟුම්හල්වල නවාතැන් ගෙන සිටි විදේශිකයින් කණ්ඩායම් වශයෙන් සංවිධාන වී සයිබර් මූල්‍ය අපරාධ මෙහෙයවමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු පැවසුවේ චීන ජාතිකයින් ඇතුළු විවිධ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 300කට අධික පිරිසක් මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ය.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කර තිබෙන බව ද ඔහු පැවසුවේය.

මේ අතර, විශාල මුදලකට නිවෙස් හෝ ගොඩනැගිලි කුලී පදනමට ගෙන ඇත්නම් ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස ත් සැකකටයුතු යම් දෙයක් සිදුවන්නේ නම් ඒ ගැන දැනුම් දෙන ලෙසත් මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටී.

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මාසයේදී පමණක් පැමිණිලි 232ක් වාර්තා වී තිබෙන බව බීබීසී සිංහල කළ විමසීමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය තහවුරු කරන ලදී.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල බීබීසී සිංහල වෙත පැවසුවේ, වසරේ පළමු මාස 9 තුළදී පමණක් එවැනි වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි 1,100කට අධික ගණනක් ලැබී ඇති බව ය.

“සමස්තයක් විදිහට මෑත කාලයේදී ඔන්ලයින් ඔස්සේ සිදුවන වංචාවන්වල වර්ධනයක් පෙන්නුම් කරනවා. විශේෂයෙන් බැංකු ගනුදෙනුවලදී ලබා දෙන OTP හෙවත් එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද වගේ ම පෞද්ගලික බැංකු දත්ත සොරා ගැනීම් වගේ සිදුවීම් ගැන තොරතුරු වාර්තා වෙනවා.”

”බැංකුවල නම් භාවිත කරමින් නිර්මාණය කරලා තියෙන ව්‍යාජ වෙබ් අඩවි හරහා පුද්ගලයින්ගේ බැංකු තොරතුරු, ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ OTP දත්ත සොරා ගැනීම් ගැන තොරතුරු වාර්තාවීම් සිදුවෙලා තියෙනවා.”

”ගොඩක් වෙලාවට මේ වගේ වංචාවන්ට හසුවෙලා තියෙන්නේ වයස අවුරුදු 40-65 වගේ වයස් කාණ්ඩයේ පසුවන අයයි. තරුණ අයත් මේ වගේ වංචාවන්ට හසුවෙලා කියලා වාර්තා වුනු අවස්ථා තිබුණා,” ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල පැවසුවේය.

යම් පුද්ගලයෙකු අන්තර්ජාල බැංකුකරණයේ යෙදෙනවිට තමන්ට අදාළ බැංකුව මගින් ලබා දී තිබෙන ජංගම දුරකතන යෙදවුම (ඇප්) පමණක් භාවිත කිරීමට පෙළඹෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල පැවසුවේය.

බොහෝ දෙනා OTP ඛේතය නිකම් අංක කිහිපයක් යැයි සිතන තත්ත්වයකට පත්ව ඇති බවත් එය ඉතා වැදගත් බවත් ඔහු පැවසුවේය.

“බැංකුකරණයයේ යෙදෙනවා නම් බැංකුවෙන් ලබා දීලා තියෙන ඇප් එක ම යොදා ගන්න කියලයි අපි දැනුවත් කරන්නේ. සාමාන්‍ය වෙබ් අඩවියකට ගිහින් ඒ දේ කරනවාට වඩා ආරක්ෂිතයි බැංකු විසින් ම ලබා දීලා තියෙන ඇප් එක භාවිත කරන එක.”

‘අනිත් දේ තමයි ගනුදෙනුකරුවෙක්ට කෙටි පණිවිඩයක් හෝ වෙනත් පණිවිඩයක් එනවා බැංකුවලින් එවන නිවේදනයන්ට සමාන විදිහට. ඒකෙ සඳහන් වෙලා තියෙනවා ඔබේ බැංකු ගිණුමට යම් අනවසර ඇතුළු වීමක් වෙලා තියෙනවා කියලා ඒක වළක්වා ගන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න කියලා, කරුණාකරලා ඒ දේ කරන්න එපා. ගොඩක් වෙලාවට එහෙම එන පණිවිඩ ඔස්සේ තමයි මේ ව්‍යාජ වෙබ් අඩවියේ ලින්ක් එක ඇතුළත් වෙලා තියෙන්නේ.”

”අපිට මෑතකදී දකින්න ලැබුණ දෙයක් තමයි ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය ඔස්සේ පුංචි වෙනසක් කරලා තියෙන බැංකුවල ලාංඡන යොදාගෙන දැන්වීම් පළකරලා තියෙනවා විවිධ තෑගී දෙනවා කියලා. මේ වගේ දේවල් දැක්කම තරුණ වැඩිහිටි කියලා වෙනසක් නැහැ හැමෝම තමන්ගේ බැංකු තොරතුරු අතුළත් කරලා ලින්ක් එක ක්ලික් කරනවා. ඒත් පස්සේ තමයි තේරුම් ගන්නේ තමන් රැවටිලා කියලා. ඒ නිසා හැමෝම හොදට අවධානය යොමු කරන්න මේ වගේ දේවල් ගැන,” ඔහු පැවසීය.

-BBC Sinhala

සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව