ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය කවුද?

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජේසූරිය පත් කර තිබේ.

‘ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත් ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇති’ බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආචාර්ය හාන්ස් විජේසූරිය විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇති බවත්, ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

හිටපු රජයේ විගණකාධිපති පී.එම්.ඩබ්ලිව්. විජේසූරිය සහ සුසිලා විජේසූරියට දාව හාන්ස් විජේසූරිය, 1968 අප්‍රේල් මස 02 වන දා උපත ලැබී ය.

ගල්කිස්ස, සාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ හාන්ස්, සිය උසස් අධ්‍යාපනය සඳහා විදෙස් විශ්වවිද්‍යාල කිහිපයකට ඇතුළත් විය. 1989 වසරේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ගත් ඔහු, 1994 වසරේදී බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයෙන් ඩිජිටල් ජංගම සන්නිවේදනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය.

වරලත් ඉංජිනේරුවරයෙකු සහ එක්සත් රාජධානියේ ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු එක්සත් රාජධානියේ වෝර්වික් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද ලබා ඇත.

මෙරට ප්‍රසිද්ධ ජංගම දුරකතන මෙහෙයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටාහි ආරම්භක කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු වූ හාන්ස්, 1997 වසරේදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් විය.

2016 දී ආසියාටා සමූහයේ දකුණු ආසියාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද හාන්ස් විජේසූරිය පත් කෙරිණි.

එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමට ද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හි ද සමාගම සිය ක්‍රියාකාරීත්වය තහවුරු කර ගැනීමට ද සමත් විය.

GSM Asia Pacificහි හිටපු සභාපතිවරයෙකු ද වන ආචාර්ය හාන්ස් විජේසූරියගේ සේවා කාලය අතරතුර එනම්, 2016 වසරේදී GSMA විසින් පවත්වන ලද Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළ ම සම්මානයට ඔහු පාත්‍ර විය.

මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව විසින් 2008 වසරේදී “වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙසින් නම් කරනු ලැබු‍වේ ද ආචාර්ය හාන්ස් විජේසූරිය යි.

ආචාර්ය හාන්ස් විජේසූරිය දැනට ආසිආටා සමූහ සමාගමේ (Axiata Group Bhd) විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර, ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

-BBC Sinhala

ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය කවුද?